ශබ්ද විකාශන යන්ත්‍ර සහ ඇම්ප්ලිෆයර් භාවිතයේදී මහජනතාවට පීඩාවක් නොවන පරිදි නීත්‍යානුකූලව කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා පොලිසිය මහජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතය හේතුවෙන් සිදුවන ශබ්ද දූෂණය, ළදරුවන්, පාසල් දරුවන්, වැඩිහිටියන් මෙන්ම රෝගීන්ටද දැඩි සෞඛ්‍ය හා මානසික ගැටලුවක් බවට පත්ව ඇති බව පොලිසිය පෙන්වා දෙයි. ගරු ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග සහ දණ්ඩ නීති සංග්‍රහයේ 261 වන වගන්තියට අනුව, අවට පදිංචිකරුවන්ට අපහසුතාවක් වන ලෙස ශබ්ද උපකරණ භාවිත කිරීම 'මහජන පීඩාවක්' ලෙස සලකා නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පොලිසියට හැකියාව පවතිනවා.

ඒ අනුව, රාත්‍රී 10.00 සිට පසුදින පෙරවරු 06.00 දක්වා කාලය තුළ ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතයට අවසර හිමි නොවන අතර, ආගමික හෝ විශේෂ අවස්ථාවන් සඳහා සලකා බලා නීත්‍යානුකූලව අවසර ලබාගත හැකියි.
විශේෂ පොලිස් අවසරයක් සහිත අවස්ථාවලදී පවා:
සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා: රාත්‍රී 10.00 දක්වාද,
සිකුරාදා සහ සෙනසුරාදා: අලුයම 01.00 දක්වාද,
ඉරිදා දිනවල: අලුයම 12.30 දක්වාද පමණක් ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කිරීමට අවසර හිමිවනු ඇත.

කෙසේ වෙතත්, අවසර පත්‍රයක් ලබාගෙන තිබුණද, එම ශබ්දය අදාළ පරිශ්‍රයට පමණක් සීමා විය යුතු අතර අවට වැසියන්ට බාධාවක් නොවිය යුතු බවද පොලිසිය අවධාරණය කරනවා. අවසර ලත් කොන්දේසි උල්ලංඝනය කරමින් හෝ මහජන පීඩාවක් වන ලෙස අධික ශබ්දයෙන් කටයුතු කරන්නේ නම්, ශබ්ද උපකරණ පොලිස් භාරයට ගැනීමට සහ නීතිමය පියවර ගැනීමට කටයුතු කරනු ලැබේ.

මෙවැනි නීති විරෝධී ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතයන් පිළිබඳව ළඟම ඇති පොලිස් ස්ථානයට හෝ 118 සහ 119 හදිසි ඇමතුම් අංක වෙත දැනුම් දෙන ලෙස ශ්‍රී ලංකා පොලිසිය මහජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටිනවා.