අනුරාධපුර මහ නගර සභාව සඳහා සමගි ජන බලවේගයෙන් තේරී පත් වූ මන්ත්‍රීවරුන් පත් කිරීමට අදාළව තමන්ට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන බව එම පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසනවා.
අදාළ පත් කිරීම් සිදු කළේ ඒ සඳහා පත් කළ කමිටුවේ නිර්දේශය මත බවයි පක්ෂ මහලේකම්වරයා නෙත් නිවුස් කළ විමසීමකදී පැවසුවේ.
ඒ අනුව අදාළ පත් කිරීම් තම තනි තීරණයක් මත සිදු නොකළ බවද ඔහු කියා සිටියා.
පසුගිය පළාත් පාලන මැතිවරණයේදී අනුරාධපුර මහ නගර සභාව සඳහා සමගි ජන බලවේගයෙන් තේරී පත් වූ නාගරික මන්ත්‍රීවරුන් හා මන්ත්‍රීවරියන් පත්කිරීමේදී කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයන් එයට විරෝධය පළ කර තිබුණා.
ඒ, අනුරාධපුර දිස්ත්‍රික් හිටපු නාගරික මන්ත්‍රීවරයෙකු සහ විපක්ෂ නායක ඉන්දික අරුණ කුමාර මහතා පත් නොකිරීම හේතුවෙන්.
අනුරාධපුර දිස්ත්‍රික් නායකයෙකු සහ ආසන සංවිධායකවරයෙකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර විසින් ඉන්දික අරුණ කුමාර මහතා ඇතුළු තවත් නම් කිහිපයක් යෝජනා කර සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා වෙත යොමු කර තිබූ බවයි වාර්තා වුණේ.
එහෙත් මන්ත්‍රීවරුන් තෝරා පත් කර ගන්නා ලැයිස්තුවෙන් ඉන්දික අරුණ කුමාර මහතාගේ නම ඉවත් කර වෙනත් නමක් යෝජනා කර තිබෙනවා.
මෙම තත්ත්වය හේතුවෙන් සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී දැඩි උණුසුම්කාරී තත්ත්වයක් ඇතිවූ බවයි සමගි ජන බලවේගයේ ජ්‍යේෂ්ඨ ප්‍රකාශකයෙකු නෙත් නිවුස් වෙත කියා සිටියේ.
එවන් පසුබිමක් තුළ අනුරාධපුර දිස්ත්‍රික් සංවිධානයේ සියලුම සාමාජිකයන් මින් ඉදිරියට සියලු සංවිධාන කටයුතුවලින් ඉවත් විමට තීරණය කර තිබෙන බවයි වාර්තා වුණේ.
එමෙන්ම සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා අනුරාධපුර දිස්ත්‍රික්කයේ සහභාගී වන සියලුම රැස්වීම්වලට සහභාගී නොවීමටත් ඔවුන් තීරණය කර ඇති බවද වාර්තා වුණා.
සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා විසින් සිදු කරන ලද එම පත්කිරීම ඉවත් කර ගන්නා ලෙසටද අනුරාධපුර දිස්ත්‍රික් නියෝජිතයින් ඉල්ලීමක් කර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වුණේ.




