අණ නොතකා පලා යමින් සිටි මෝටර් රථයක් පසු පස හඹා ගිය පොලිස් යතුරු පැදියක් අනතුරට පත් වීමෙන් පොලිස් සැරයන්වරයෙකු තුවාල ලබා තිබෙනවා. පොලීසිය පැවසුවේ එම පොලිස් නිලධාරියා ප්රතිකාර සදහා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇති බවයි. පාලාවිය - කල්පිටිය මාර්ගයේ කරඹ පාලම ආසන්නයේදී ඊයේ රාත්රියේ එම අනතුර සිදුව තිබෙනවා. අනතුරෙන් තුවාල ලබා ඇත්තේ පුත්තලම කොට්ඨාස රථ වාහන අංශයට අනියුක්තව සේවය කරමින් සිටි පොලිස් සැරයන්වරයෙක්.
අනතුරට පත්ව ඇති පොලිස් සැරයන්වරයා පාලාවිය මංසන්ධියට ආසන්නයේ රථ වාහන රාජකාරියේ නිරතව සිට තිබෙනවා. එම අවස්ථාවේදී පාලාවිය දෙස සිට කල්පිටිය දෙසට ධාවනය වූ මෝටර් රථයක් නවත්වන ලෙසට එම නිලධාරියා අණ කර ඇති බවයි පොලීසිය පැවසුවේ. කෙසේවෙතත් එම මෝටර් රථය ධාවනය කළ රියදුරු පොලිස් අණ නොතකා පලා ගොස් තිබෙනවා. පලා යමින් තිබූ මෝටර් රථය අත්අඩංගුවට ගැනීම සදහා ඒ පසුපස හඹා යමින් සිටියදී පොලිස් යතුරු පැදිය කරඹ පාලම ආසන්නයේදී අනතුරට පත්ව ඇති බවයි පොලීසිය පැවසුවේ.
රෝහල් ගත කර ඇති පොලිස් සැරයන්වරයාගේ තත්ත්වය බරපතල නොවන බව රෝහල් ආරංචි මාර්ග පැවසුවා. මේ අතර පොලිස් අණ නොතකා පලා ගොස් ඇති මෝටර් රථය මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති බවයි නෙත් නිවුස් වාර්තාකරු සදහන් කළේ.




