අද දහවල් 12.11 ට පල්ලවරායන්කඩ්ඩු, අක්කරයන්කුලම්, අරිවියල් නගර්, පුදුකුඩිඉරිප්පු සහ අනන්තපුරම් ප්‍රදේශවලට ඉර මුදුන්ව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

දෘශ්‍ය ලෙස සූර්යයා දකුණට ගමන් කිරීමේදී, ඊයේ දිනයේ සිට සැප්තැම්බර් 07 දක්වා ශ්‍රී ලංකාව ආසන්න අක්ෂාංශවලට සෘජුවම ඉහළින් සූර්යයා පවතින බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ.

මේ අතර අද දිනයේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

වයඹ පළාතේ වැසි වාර කිහිපයක් සහ ඌව පළාතෙත් අම්පාර, මඩකලපුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක පස්වරු 2න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණික තත්ත්වයක් අද දිනයේද පවතිනු ඇති බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවේ.