ඇමෙරිකාවේ ෆ්ලෝරීඩා ප්රාන්තයේ ටයිටස්විල්හි ස්පේස් කෝස්ට් ප්රාදේශීය ගුවන්තොටුපළ ආසන්නයේ සිදුවූ කුඩා ගුවන් යානා අනතුරකින් එහි ගමන් කළ නියමුවා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙම කුඩා ගුවන් යානය කඩා වැටීමට පෙර විදුලි රැහැනක ගැටී ඇති අතර, අනතුරුව එය ප්‍රධාන මාර්ගය මතට කඩා වැටෙමින් ගිනිගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

අනතුර සිදුවන අවස්ථාවේ යානය තුළ නියමුවා පමණක් සිට තිබෙනවා.

එම අනතුරේ ස්වභාවය මත ඔහුගේ අනන්‍යතාව තහවුරු කරගැනීමට මෙතෙක් හැකියාවක් ලැබී නැහැ.

මෙම අනතුරත් සමග ආරක්ෂිත පියවරක් ලෙස ප්රදේශයේ විදුලි සැපයුම විසන්ධි කිරීමට පියවර ගත් බවයි එරට බලධාරීන් පවසන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් ඇමෙරිකානු ජාතික ප්රවාහන සුරක්ෂිතතා මණ්ඩලය සහ ෆෙඩරල් ගුවන් සේවා පාලන අධිකාරිය පරීක්ෂණ ආරම්භ කර ඇති බව විදෙස් මාධ්ය පැවසුවා.

මේ අතර ඇමෙරිකාවේ මියාමි ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී ඇමසන් සමාගමට අයත් Boeing 767  වර්ගයේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් ධාවන පථයෙන් ඉවතට පැන මීට පෙර සිදුවූ දරුණු අනතුරකින් පුද්ගලයින් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

අනතුරෙන් තවත් 5 දෙනෙකු බරපතල තුවාල ලබා තිබෙනවා.

'21 Air' සමාගම මගින් මෙහෙයවන ලද මෙම ගුවන් යානය ධාවන පථය පසුකර ගොස් ගුවන්තොටුපළ පරිශ්‍රයේ තිබූ වාහන දෙකක ගැටී ඇති අතර, ඒ අතර පිරිසිදු කිරීමේ සමාගමකට අයත් වෑන් රථයක් ද වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මේ වන විට ගුවන් යානයේ තිබූ පියාසර දත්ත සටහන් යන්ත්‍රය හෙවත් ‘කළු පෙට්ටිය‘ සොයාගෙන ඇති බව ඇමෙරිකානු ජාතික ප්‍රවාහන සුරක්ෂිතතා මණ්ඩලය තහවුරු කරනවා.

කෙසේ වෙතත්, දැනට ප්‍රමුඛතාව ලබාදී ඇත්තේ මියගිය පුද්ගලයින්ගේ සිරුරු ගොඩගැනීමට බවයි එම මණ්ඩලයේ සභාපතිනි ජෙනිෆර් හොමෙන්ඩි ප්‍රකාශ කළේ.

අනතුර සිදුවන අවස්ථාවේ ගුවන්තොටුපළ ආසන්නයේ දැඩි කුණාටු තත්ත්වයක් පැවති බව සදහන්.

සිද්ධිය සම්බන්ධයෙන් ඇමෙරිකානු පරීක්ෂණ කණ්ඩායම් වැඩිදුර විමර්ශන පවත්වනවා.