හෙළයේ රන් ස්වරය, ප්‍රවීණ ගායන ශිල්පිනී අභාවප්‍රාප්ත නන්දා මාලනී මහත්මියට අද පස්වරුවේ දැයෙන් සමුගත්තා.

ශ්‍රී ලාංකීය සංගීත ක්ෂේත්‍රයට අමිල මෙහෙවරක් ඉටු කළ ඇය සිය නිවසේදි පසුගිය 20 වනදා අභාවප්‍රාප්ත වුණා.

මිය යනවිට නන්දා මාලනි මහත්මිය 82 වන වියේ පසු වුණා. නුගේගොඩ, නාවල පාරේ නන්දා මාලනී සංගීත ආශ්‍රමයේදී ඇයගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට ජනතාවට ඊයේ පෙරවරුවේ සිට අවස්ථාව ලබාදීමටයි පවුලේ ඥාතින් කටයුතු කළේ.

ඒ අනුව ඇයට අවසන් ගෞරව දැක්වීම සදහා මහා සංඝරත්නය මෙන්ම ආගමික නායකයින්, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය මෙන්ම හිටපු ජනාධිපතිවරුන් ඇතුළු දේශපාලනඥයන්, කලාකරුවන් සහ නන්දෙසින් පැමිණි ජනතාවද එක්ව සිටියා.

සිය අවසන් කටයුතු ඉතා චාම් අයුරින් සිදුකරන ලෙසට නන්දා මාලනියන් අවසන් කැමති පත්‍රයේ සදහන් කර තිබෙනවා.
ඒ අනුව නිවසේදී ආගමික වතාවත් ද අද පෙරවරුවේ ඉතා චාම් අයුරින් සිදු කෙරුණු බවයි එම අවස්ථාව ආවරණය කළ නෙත් නිවුස් නියෝජිතයන් පැවසුවේ.

අභාවප්‍රාප්ත නන්දා මාලනී මහත්මියගේ දේහය රැගත් අවමංගල රථ පෙරහැර පස්වරු 3.30 ට නිවසින් පිටත් වුණා.

බොරැල්ල කනත්ත වෙත දේහය රැගෙන ඒමෙන් පසු එහිදී ඉතා චාම්ව අවසන් කටයුතු සිදු කෙරුණු බවයි එම අවස්ථාව ආවරණය කළ නෙත් නිවුස් නියෝජිතයන් කියාසිටියේ.