සටන් විරාමය උල්ලංඝනය කිරීම හේතුවෙන් හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත කළ නොහැකි බව ඉරානය පවසනවා.

අමෙරිකාව විසින් ඉරාන වරායන් අවහිර කිරීම ගෝලීය ආර්ථිකය ප්‍රාණ ඇපයට ගැනීමක් ලෙසයි ඉරාන පාර්ලිමේන්තුවේ කථානායකවරයා පෙන්වා දෙන්නේ.

කෙසේවෙතත් ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් සඳහන් කර ඇත්තේ, ඉරානය සාම සාකච්ඡා සඳහා විවෘතව පවතින බවයි.

එහෙත් ඊට කැපවීම් කඩකිරීම, අවහිර කිරීම් සහ තර්ජනය කිරීම් සැබෑ සාකච්ඡාවක් සඳහා ප්‍රධාන බාධක වනු ඇති බවයි ඉරාන ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ.

එවන් පසුබිමක් තුළ ඉරානය සමඟ නව වටයක සාම සාකච්ඡා ඉදිරි පැය 36 සිට 72 දක්වා කාලය ඇතුළත ආරම්භ වීමට ඉඩ ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙනවා.

ඒ, රාජ්‍ය තාන්ත්‍රික ප්‍රයත්නයන් සඳහා අවස්ථාව ලබා දෙමින් ඉරානය සමඟ පවතින සටන් විරාමය දීර්ඝ කිරීමට ජනාධිපතිවරයා තීරණය කිරීමෙන් පසුවයි.

ඊයේ දින අවසන් වීමට තිබූ සටන් විරාමය දීර්ඝ කිරීමට ජනාධිපති ට්‍රම්ප් කටයුතු කළේ පාකිස්තානයේ ඉල්ලීමකට අනුව බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.