යුක්‍රේන - පෝලන්ත සීමාව ආසන්නයේ පිහිටි යාහොඩින් දුම්රිය ස්ථානයේ තිබූ දුම්රියක එන්ජිමකට රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ බි්‍රතාන්‍යයේ හිටපු අගමැති බෝරිස් ජොන්සන්, ජ්‍යෙෂ්ඨ ආරක්ෂක උපදේශක ජොනතන් පවෙල් ඇතුළු යුරෝපා රාජ්‍ය තාන්ත්‍රික පිරිසක් ගමන් කළ දුම්රිය අදාළ ස්ථානය පසුවී නිමේෂයකින් මෙම ප්‍රහාරය එල්ල වී ඇති බවයි.
අදාළ ඩ්‍රෝන ප්‍රහාරය එල්ල වීමට විනාඩි 15 කට පෙර ක්‍රියාත්මක කළ හදිසි ඉවත් කිරීමේ නියෝග හේතුවෙන් ප්‍රහාරයට ලක් වූ දුම්රියේ සිටි සියලුම මගීන් ආරක්ෂිතව ඉවත් කරගැනීමට හැකිවූ බව යුක්‍රේන බලධාරීන් පැවසුවා.
මේ හේතුවෙන් අදාළ ප්‍රහාරයෙන් කිසිදු ජීවිත හානියක් සිදුවී නැහැ.
යුක්‍රේන රාජ්‍ය දුම්රිය සේවය පවසන්නේ, රුසියානු ප්‍රහාරයේ ප්‍රධාන ඉලක්කය රාජ්‍ය තාන්ත්‍රිකයින් ගමන් කළ දුම්රිය වීමට වැඩි ඉඩකඩක් පැවති බවයි.
කෙසේ වෙතත් රුසියාව සඳහන් කරන්නේ තමන් ප්‍රහාර එල්ල කළේ දුම්රිය යටිතල පහසුකම් වෙත පමණක් බවයි.
මෙම සිදුවීමට මුහුණදුන් ස්වීඩනයේ හිටපු අගමැති කාල් බිල්ඩ් සඳහන් කළේ, තමන් ගමන් කළ දුම්රියද නවත්වා හදිසි ඉවත් කිරීම් සඳහා සූදානම් වන ලෙස බලධාරීන් දැනුම් දුන් බවයි.
කෙසේ වෙතත් මිනිත්තු කිහිපයකට පසු තත්ත්වය යහපත් බව දැනුම් දීමෙන් අනතුරුව තම දුම්රිය පෝලන්තයේ දොරොහුස්ක් දුම්රිය ස්ථානය වෙත සුරක්ෂිතව ළඟා වූ බවයි ඔහු සදහන් කර ඇත්තේ.
ඩ්‍රෝන ප්‍රහාරයෙන් පසු X ගිණුමේ සටහනක් තබමින් බි්‍රතාන්‍යයේ හිටපු අගමැති බෝරිස් ජොන්සන් සඳහන් කර ඇත්තේ පෝලන්ත සීමාව ආසන්නයේ තිබූ සිවිල් දුම්රියකට ප්‍රහාර එල්ල කිරීමට තරම් පුටින් මෙහෙයවූයේ කුමන විකෘති තර්කයක් දැයි තමන් නොදන්නා බවයි.
මෙය යුක්‍රේන වැසියන් දිනපතා මුහුණ දෙන අහඹු සහ අර්ථ විරහිත ප්‍රහාරවල තවත් එක් අවස්ථාවක් බවද ඔහු පෙන්වා දි තිබෙනවා.
දිනපතා එල්ල වන මෙවැනි රුසියානු ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරවලින් ආරක්ෂා වීම සඳහා යුක්‍රේනයට වහාම ගුවන් ආරක්ෂණ පද්ධති ලබාදෙන ලෙසද බෝරිස් ජොන්සන් මිත්‍ර රටවලින් ඉල්ලා සිටිනවා.




