රත්ගම, මලියදුව ප්‍රදේශයේ ක්‍රීඩාංගණයකදී හිටපු යුද හමුදා නිලධාරියෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය නොවැම්බර් 26 වනදා අදාල ක්‍රීඩාංගණයේ තිබී මෙම මළසිරුර සොයා ගනු ලැබුවා.

මෙලෙස මියගොස් ඇත්තේ 47 හැවිරිදි වියේ පසු වූ ගාල්ල, රිච්මන් කන්ද, ප්‍රදේශයේ පදිංචි හිටපු යුද හමුදා නිලධාරියෙකු බවට පොලීසිය හදුනා ගෙන තිබුණා.

ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් විමර්ශන ආරම්භ කර තිබූ අතර, ඒ අනුව ඝාතනයට සම්බන්ධ බවට සැක කෙරෙන පුද්ගලයන් තිදෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් ගිංතොට, මාගාල්ල සහ ගාල්ල ප්‍රදේශවල පදිංචිකරුවන් වන බවයි පොලිසිය පැවසුවේ.

සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා රත්ගම පොලිස් ස්ථානය වෙත භාර දි තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන තවදුරටත් ක්‍රියාත්මකයි.