MIWAYS නමින් නවතම කුලී රථ සහ ඩිලිවරි සේවා යෙදවුමක් ඩයලොග් ආසියාටා සහ TVS එක්ව හඳුන්වාදී තිබෙනවා.

මෙය සාම්ප්‍රදායික ජංගම දුරකථන යෙදවුමකට වඩා නූතන ගමනාගමන අභියෝග රැසකට ප්‍රජා මූලික විසඳුමක් බවයි MIWAYS ප්‍රධාන විධායක නිලධාරී නල්ලියා දයාභරන් මහතා පැවසුවේ.

යෙදවුම ජනගත කරන විටත් රියදුරන් සහ මගීන් 25,000ක් ඒ සඳහා ලියාපදිංචි වී සිටිනවා.

යෙදවුම් මගින් හසුරවන කුලී රථවල රියදුරන්ට ඇති ප්‍රධාන ප්‍රශ්නයක් වන්නේ සෑම ගමනක් සඳහාම ඔවුන්ගෙන් සි 15 සිට සියයට 25 දක්වා ඉහළ කොමිස් මුදලක් අය කර ගැනීමයි.

එහෙත් MIWAYS යෙදවුම හඳුන්වාදී ඇත්තේ ඒ සඳහාද විසඳුම් ලබා දෙමින්. ලියාපදිංචි රියදුරන්ගෙන් පළමු මාස තුන තුළ කිසිදු කොමිස් මුදලක් හෝ ග්‍රාහක ගාස්තුවක් අය නොකරන බව MIWAYS ප්‍රධාන විධායක නිලධාරීවරයා පැවසුවා.

ප්‍රවර්ධන කාලයෙන් පසුවද MIWAYS විසින් රියදුරන්ගෙන් අය කරනු ලබන්නේ අඩුම ස්ථාවර ග්‍රාහක ගාස්තුවක් බවයි මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කෙරුණේ.

මීට අමතරව ලියාපදිංචි රියදුරන් සඳහා වාහන අමතර කොටස් වෙනුවෙන් TVS ආයතනයෙන් විශේෂ මිල අඩුකිරීම් ලබාදෙනු ඇති.

TVS සේවා මධ්‍යස්ථානවලදී ලියාපදිංචි රියදුරන්ට විශේෂිත ප්‍රමුඛතා මත නඩත්තු සහ අලුත් වැඩියා සේවා සැපයෙනවා.

ලියාපදිංචි රියදුරන් හට පහසුවෙන් හා තිරසර ලෙස ඉහළ මාදිලියක වාහනයක් හිමිකර දීම සඳහා ආකර්ෂණීය වාහන හුවමාරු අවස්ථාද ලබාදෙන බවයි TVS Lanka සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ගීතාල් ඇන්තනී මහතා කියා සිටියේ.

MIWAYS සේවා ලබාගන්නා පාරිභෝගිකයන් සඳහාද විශේෂ වරප්‍රසාද ගණනාවක් හිමිවනවා.

පළමු මාස තුන ඇතුළත ගමන් වාර පහකට අය කෙරෙන්නේ ගාස්තුවෙන් සියයට 50ක් පමණයි.

මෙම යෙදවූම හරහා රියදුරන්ට සහ මඟීන්ට ආරක්ෂාවද සහතික කෙරෙනවා.

ගමන් මග සජීව ලෙස අධීක්ෂණය කෙරෙන අතර ඕනෑම මොහොතක සහයෝගය ලබා දීම සඳහා ඇමතුම් මධ්‍යස්ථානයක්ද පැය 24 පුරා ක්‍රියාත්මකයි.

Google play store හෝ Apple App Store හරහා යෙදවුම දැන් බාගත කරගත හැකි වනවා.