ප්‍රදේශ රැසකට ඇඳිරි නීතිය පැනවීම හේතුවෙන් ඊයේ රාත්‍රියේ සාමකාමී වාතාවරණයක් පැවති බව ප්‍රංශ අග්‍රාමාත්‍ය සෙබස්තියන් ලෙකොර්නු පවසනවා.

සති අන්තයේ ප්‍රංශය පුරා හටගත් දැඩි ප්‍රචණ්ඩකාරී ක්‍රියා සහ කොල්ලකෑම් හේතුවෙන් එලෙස ඇදිරි නීතිය පැනවු බවයි ප්‍රංශ අග්‍රාමාත්‍යවරයා පවසන්නේ.

පැරිස් අගනුවර පිහිටි ‘ප්ලේස් ඩෙ ලා රෙපුබ්ලික්‘ සහ ‘ලෙ හෝල්ස්‘ වෙළෙඳ සංකීර්ණය ඇතුළු ප්‍රධාන ස්ථාන රැසකට මෙලෙස ඇඳිරි නීතිය පැනවීමට පියවර ගැනුණා.

ඊට අමතරව දකුණු ප්‍රංශයේ මාර්සේයි, බෝඩෝ, නීස් සහ ලියොන් මෙන්ම උතුරු ප්‍රදේශයේ ලිල් ඇතුළු නගර රැසක තරුණයින්ගේ ගමනාගමනය සහ ජනතාව රැස්වීම සීමා කරමින් පියවර ගෙන තිබුණා.

නීතිය හා සාමය ආරක්ෂා කිරීමට කැපවූ පොලිස් නිලධාරීන්ට සහ ආරක්ෂක අංශ වෙත සිය ස්තුතිය පළ කරන බවයි ප්‍රංශ අග්‍රාමාත්‍යවරයා සඳහන් කර ඇත්ත්.

ඇඳිරි නීතිය තවදුරටත් ක්‍රියාත්මක කරන්නේද යන්න පිළිබඳ තීරණය ප්‍රාදේශීය බලධාරීන් සහ නගරාධිපතිවරුන් විසින් එම ප්‍රදේශවල පවතින අවශ්‍යතාවය අනුව තීරණය කරනු ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ.