ඉන්දීය උප ජනාධිපති ශ්‍රී සී.පී. රාධක්‍රිෂ්ණන් මහතා දෙදින නිල සංචාරයක් සඳහා අද දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා.
මෙම සංචාරය අතරතුර ඉන්දීය උප ජනාධිපතිවරයා, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.
ඉන්දීය උප ජනාධිපතිවරයා මෙම සංචාරයේදී මෙරට තවත් දේශපාලන නායකයින් කිහිපදෙනෙකු හමුවීමට සහ වැඩසටහන් කිහිපයකට ද සහභාගී වීමට නියමිත බවයි ඉන්දිය විදේශ කටයුතු අමාත්‍යංශය පැවසුවේ.
ශ්‍රී සී.පී. රාධක්‍රිෂ්ණන් මහතාගේ ශ්‍රී ලංකා සංචාරය ඉන්දියාව සහ ශ්‍රී ලංකාව බැඳ තබන සහස්‍ර ගණනාවක් පැරණි සබඳතා තවදුරටත් ශක්තිමත් කරනු ඇති බවද ඉන්දිය විදේශ කටයුතු අමාත්‍යංශය සදහන් කළා.
ඉන්දීය උප ජනාධිපති සී.පී රාධක්‍රිෂ්ණන් මහතාගේ මෙරට නිල සංචාරය හේතුවෙන් අද සහ හෙට කොළඹ නගරය හා ඒ අවට විශේෂ රථ වාහන සැළැස්මක් ක්‍රියාත්මක වන බව පොලිසිය පවසනවා.
ඉන්දීය උප ජනාධිපතිවරයා දිවයිනට ළගාවීමට නියමිතව ඇත්තේ අද උදෑසනයි.
ඒ අනුව කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොලේ සිට ඉන්දීය උප ජනාධිපතිවරයා ප්‍රභූ රථ පෙළකින් ගාලුමුවදොර ටාජ් සමුද්‍රා හෝටලය දක්වා පැමිණීමට නියමිතව තිබෙනවා.
එම රථ පෙළ කටුනායක කොළඹ අධිවේගී මාර්ගය ඔස්සේ පැමිණ ග්‍රෑන්ඩ්පාස් ඔරුගොඩවත්ත හන්දියෙන් බේස්ලයින් පාර ඔස්සේ බොරැල්ල හන්දිය, ඩී.එස් සේනානායක හන්දියෙන් දකුණට හැරී හෝර්ටන් පෙදෙස ඔස්සේ නෙළුම් පොකුණවටරවුම, ආනන්ද කුමාරස්වාමි මාවත, පුස්තකාල හන්දිය, මල් පාර හන්දිය, ලිබර්ටි වටරවුමෙන් හැරී ශාන්ත මයිකල් වටරවුමෙන් වමට හැරී ශාන්ත මයිකල් පාර, ගාලු පාර ශාන්ත මයිකල් පාර හන්දියෙන් දකුණට හැරී ගාලු පාර ඔස්සේ ගාලු මුවදොර වටරවුම, ගාලු මැද පාර ඔස්සේ ටාජ් සමුද්‍රා හෝටලය වෙත පැමිණීමට නියමිතයි.
ඒ අනුව එම කාලසීමාවේ අදාළ ප්‍රදේශ ආශ්‍රිතව විශේෂ රථ වාහන සැළැස්මක් ක්‍රියාත්මක වන බවයි පොලිසිය සදහන් කළේ.
ඉන් අනතුරුව ඉන්දීය උප ජනාධිපතිවරයා ටාජ් සමුද්‍රා හෝටලයේ සිට ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා ගමන් කිරීමට නියමිත බැවින් ඒ ආශ්‍රිතව ද රථ වාහන ගමනාගමනය සීමා කෙරෙන බව පොලිසිය සඳහන් කළා.




