රජයේ රෝහලක ප්‍රථම වතාවට ස්ථාපිත කෙරුණු ආහාරපාන දෙපාර්තමේන්තුවක් මගින් නේවාසික රෝගීන්ට ආහාර ලබා දීමේ නියමු ව්‍යාපෘතියක් අද ආරම්භ වනවා.
ඒ, මහරගම අපේක්ෂා රෝහලේදීයි.
රෝගියාටම වෙන් වූ බත්, මාළුපිනි වෙන් වෙන් වශයෙන් තැන්පත් කළ විශේෂ පිඟානකින් එම ආහාරවේල රෝගියා වෙත පිරිනැමීම මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අංගය වන බවයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය පැවසුවේ.
මේ වන විට මහරගම අපේක්ෂා රෝහල තුළ එකවර 2,000කට ආහාරපාන සැකසීම සඳහා අංග සම්පූර්ණ නවීන පහසුකම්වලින් සමන්විත ආහාරපාන දෙපාර්තමේන්තුවක් ස්ථාපිත කර තිබෙනවා.
නවීන ආකාරයට ආහාරපාන සැකසීම සහ පිළිගැන්විමට ඒ සඳහා අනුයුක්ත කර ඇති කාර්ය මණ්ඩලය වෙත විශේෂ පුහුණුවක්ද ලබා දී ඇති බවයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය පැවසුවේ.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් එම නියමු ව්‍යාපෘතිය ආරම්භ කිරීමට නියමිතයි.




