ලෙබනනය තුළ සිවිල් වැසියන් මියයෑමේ වාර්තා පිළිබඳව ඉන්දියාව දැඩි කනස්සල්ල පළ කරන බව ඉන්දීය විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.
ඒ, පුද්ගලයන් 300කට වැඩි පිරිසකට මරු කැඳවමින් ඊශ්‍රායලය එල්ල කළ දරුණුතම බෝම්බ ප්‍රහාරයෙන් දින දෙකකට පසුවය.
එක්සත් ජනපද-ඊශ්‍රායල සහ ඉරානය අතර යුද්ධය ඇවිළෙමින් පවතින පසුබිමක, ඉරානයට සහය දැක්වීම සඳහා හිස්බුල්ලා සංවිධානය ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල කිරීමෙන් පසු, ඔවුන් හඹා යමින් පසුගිය මාසයේදී ඊශ්‍රායලය ලෙබනනය ආක්‍රමණය කළේය.
'ඉන්දියාව සෑම විටම සිවිල් වැසියන්ගේ ආරක්ෂාව ප්‍රමුඛතම අවශ්‍යතාවය ලෙස අවධාරණය කර ඇත. ජාත්‍යන්තර නීතිය පිළිපැදීම සහ රාජ්‍යයන්ගේ ස්වෛරීභාවයට හා භූමියට ගරු කිරීම අත්‍යවශ්‍ය වේ,' යනුවෙන් ඉන්දීය විදේශ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.
ඉන්දියාව සහ ඊශ්‍රායලය අතර සමීප සබඳතා පවතින අතර, යුද්ධය ආරම්භ වීමට දින කිහිපයකට පෙර ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ඊශ්‍රායලයේ සංචාරයක නිරත විය.
වොෂින්ටනය සහ ටෙහෙරානය අතර පවතින ගැටුම විසඳා ගැනීම සඳහා පකිස්ථානයේ ඉස්ලාමාබාද්හිදී සාකච්ඡා පැවැත්වීමට දෙරට සූදානම් වෙමින් සිටියදී, මේ සතියේ ඊශ්‍රායලය ලෙබනනයට එල්ල කළ ප්‍රහාර හේතුවෙන් දෙරට අතර පැවති බිඳෙනසුලු සති දෙකක සටන් විරාමය දැඩි පීඩනයකට ලක්ව ඇත.




