මීගොඩ පැවැති දන්සලක පුද්ගලයින් 6 දෙනෙකුට මරු කැදවීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කළ කැබ් රථ රියදුරා කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රදවා තිබෙනවා.
එම අනතුර සිදුකර කැබ් රථයෙන් පලායමින් සිටි සැකකාර රියදුරා ගොඩගම ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.
ඉන් අනතුරුව මීගොඩ පොලිස් ස්ථානය වෙත රැගෙන ඒමෙන් පසු වෛද්‍ය පරික්ෂණයකට යොමු කළ ඔහු හෝමාගම පොලිස් ස්ථානයේ රදවනු ලැබුවා.
ඊයේ පස්වරුවේ හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු සැකකාර කැබ් රථ රියදුරා ලබන 16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි එහිදී නියෝග කෙරුණා.
ඒ අනුව ඊයේ පස්වරුවේම කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය වෙත රැගෙන ආ ඔහු පළමුව රදවනු ලැබුවේ එම බන්ධනාගාරයේ එල් වාට්ටුවේයි.
කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයට රැගෙන එන නවක රැදවියන් පළමුව රදවනු ලබන්නේ එම වාට්ට්ටුවේ බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ.
ඒ අනුව අද දිනයේ ඔහු එම බන්ධනාගාරය තුළදී ද වෛද්‍ය පරික්ෂණයකට යොමු කෙරෙනවා.
ඉන් අනතුරුව සැකකාර කැබ් රථ රියදුරා කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ වෙනත් වාට්ටුවක රැදවීමට නියමිතයි.
හයිලෙවල් මාර්ගයේ මීගොඩ හන්දිය ආසන්නයේ සිදුවූ අදාළ අනතුරෙන් දන්සලක පෝළිමේ සිටි පුද්ගලයින් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. එහිදී තවත් පුද්ගලයන් 7 දෙනෙකු තුවාල ලැබුවා.




