කඳුකර මලයගම් ප්‍රජාවගේ නිවාසලාභීත්ව හිමිකම් පත් ලබා දීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ බණ්ඩාරවෙල මහජන ක්‍රීඩාංගනයේදී සිදු කිරීමට නියමිතව තිබෙනවා.

ඉන්දියානු ආධාර යටතේ ක්‍රියාත්මක කෙරෙන නිවාස 10,000 ව්‍යාපෘතියේ හතරවන අදියරේ ප්‍රතිලාභීන් 2,000කට මෙහිදී නිවාස හිමිකම් ලබා දීමට නියමිත බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.

“සුවපහසු නිවසක්, සනීපාරක්ෂක ජීවිතයක්” යන තේමාව යටතේ ශ්‍රී ලංකා රජය ඉන්දියානු රජය සමඟ එක්ව මෙරට මලයගම් ප්‍රජාවගේ ජීවන තත්ත්වය උසස් කිරීමේ අරමුණින් මෙම නිවාස ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙනවා.

ඒ අනුව මෙම ව්‍යාපෘතිය වැවිලි ප්‍රජාව සඳහා හුදෙක් නිවසක් ලබාදීමක් පමණක් නොව මව්බිමට ජවයක් සපයන “ගෞරවනීය පුරවැසියෙක්” බවට පරිවර්තනය වීමේ මූලික අඩිතාලම වනු ඇති.

ඒ අනුව කඳුකර වතු ප්‍රදේශවල පදිංචිව සිටින මලයගම් ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම, ආරක්ෂිත, පරිසර හිතකාමී, මූලික පහසුකම් සහිත නිවාස ලබාදීම මෙම ව්‍යාපෘතියේ අරමුණ වන අතර මෙමම නිවාස ලබා දීම සඳහා නිසි ක්‍රමවේදයක් ඔස්සේ ප්‍රතිලාභීන් තෝරා ගැනීම විශේෂත්වයක්.

මෙම අවස්ථාවට වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න, නියෝජ්‍ය අමාත්‍ය ප්‍රදීප් සුන්දරලිංගම් යන මහත්වරුන් ඇතුළු මැති ඇමතිවරුන් සහ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා යන මහත්වරුන් ප්‍රමුඛ ඉන්දීය රජයේ නියෝජිතයින් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වීමට නියමිත බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් පැවසුවේ.