2026 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතේ දෙවැනිවර කියවීම හෙවත් අයවැය කතාව අද පස්වරුවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. ඒ, මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින්. ඒ අනුව පස්වරු 01.30ට පමණ ජනාධිපතිවරයා විසින් අයවැය කතාව ඉදිරිපත් කිරීමට නියමිත බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සදහන් කළේ. ජනාධිපතිවරයා විසින් අයවැය කතාව ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අයවැය විවාදය හෙට සිට දෙසැම්බර් මස 05 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.
ඒ අනුව 2026 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත, දෙවැනිවර කියවීමේ විවාදය හෙට සිට ලබන 14 දක්වා දක්වා දින 06ක් පැවැත්වීමට නියමිතව තිබෙනවා. අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතව ඇත්තේ මෙම මස 14 වැනිදා පස්වරු 06.00ටයි.
2026 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතට අදාළ කාරක සභා අවස්ථාවේ විවාදය නොවැම්බර් 15 සිට දෙසැම්බර් 05 දක්වා සෙනසුරාදා දින 03ක් ද ඇතුළුව දින 17ක් පුරා පැවැත්වීමට නියමිතයි. ඉන් අනතුරුව විසර්ජන පනත් කෙටුම්පත තෙවනවර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් 05 වැනිදා පස්වරු 06.00ට පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ.
අයවැය කාලසීමාව තුළ රජයේ නිවාඩු දින සහ ඉරිදා දින හැර සෙනසුරාදා දින ඇතුළුව සෑම දිනකම අයවැය විවාදය පැවැත්වෙනවා. එමෙන්ම කාරක සභා අවස්ථාවේ විවාද කාලසීමාව තුළ පාර්ලිමේන්තුව සදුදා දිනවල පෙරවරු 09.30ටත්, අන් සෑම දිනකම පෙරවරු 09.00ට රැස්වීමටත් නියමිත බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සදහන් කළේ.
Published




