දෙදින වර්ජනයක් ක්‍රියාත්මක වුවත් අද පස්වරුවේද සාමාන්‍ය පරිදි කාර්යාල දුම්රිය ධාවනය කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
දුම්රිය වර්ජනය සහ දුම්රිය ධාවනය සම්බන්ධයෙන් නෙත් නිවුස් මාණ්ඩලික වාර්තාකරු නිශාන් ද සිල්වා සමග විශේෂ සංවාදයකට එක්වෙමින් එම දෙපාර්තමේන්තුවේ ගමනා ගමන අධිකාරී අසංක සමරසිංහ මහතා මේ බව කියාසිටියා.
අසංක සමරසිංහ මහතා : අද උදෑසන කාර්යාල දුම්රිය සියල්ල ක්‍රියාත්මක වුණා
නිශාන් ද සිල්වා : ඒ කියන්නේ අද උදේ කොපමණ දුම්රිය ප්‍රමාණයක් ධාවනය වුණාද කියන එක?
අසංක සමරසිංහ මහතා: ඔව්, ඇත්තටම, ඇත්තටම දැන් අපි ගත්තොත් කැලණිවැලි මාර්ගයේ දුම්රිය 7ක් කාර්යාල දුම්රිය කොළඹට එන්න ඕනේ, ඒ 7ම ධාවනය වුණා. ඊට පස්සේ අඹේපුස්ස දුම්රිය ස්ථානයෙන් දුම්රිය 6ක් එනවා, ඒ දුම්රිය 6ම ධාවනය වුණා. මහව, ගනේගොඩ, කුරුණෑගල, පොල්ගහවෙල, මීගමුව, ඊට පස්සේ හලාවත, මීගමුව, මාතර, බෙලිඅත්ත, අලුත්ගම, කළුතර, පානදුර, අලුත්ගම... මේ සියලුම ස්ථානවලින් ධාවනය විය යුතු සියලුම කාර්යාල දුම්රිය ධාවනය කළා.
නිශාන් ද සිල්වා : අද පස්වරුවේ දුම්රිය ධාවනය සැලසුම් කරලා තියෙනවද?
අසංක සමරසිංහ මහතා: මෙහෙමයි අපි සාමාන්‍ය ධාවන කාලසටහන ක්‍රියාත්මක කරන්න සැලසුම් කරලා තියෙනවා. සාමාන්‍යයෙන් හවස දුම්රිය ධාවන කාලසටහන ක්‍රියාත්මක කරන්න තමයි දුම්රිය දෙපාර්තමේන්තුව සැලසුම් කරලා තියෙන්නේ.
නිශාන් ද සිල්වා : අද සතියේ දවසක්, ඒ වගේම පාසල් පැවැත්වෙන දවසක්. පාසල් ළමුන් ප්‍රවාහනය කරන දුම්රිය අද දිනයේ ක්‍රියාත්මක වුණාද?
අසංක සමරසිංහ මහතා : ඇත්තටම අපි පාසල් ළමුන් සඳහා දහවල් දුම්රියක් ක්‍රියාත්මක කළා. විශේෂයෙන් ඒ කරුණ සලකලා පාසල් දුම්රිය අඩාල වීමකින් තොරව ධාවනය කරවීමට කටයුතු කළා.
නිශාන් ද සිල්වා : වර්ජනය නිසා දුම්රිය වෘත්තීය සමිති නම් කියන්නේ ඒගොල්ලන්ගේ වර්ජනය සාර්ථකයි කියලා...
අසංක සමරසිංහ මහතා: මට ඉතිං කියන්න තියෙන්නේ දුම්රිය දෙපාර්තමේන්තුවේ උදෑසන දුම්රිය සියල්ල ධාවනය කළා කියන එක විතරයි.
නිශාන් ද සිල්වා : ඔව්, දැන් මේ වර්ජනයක් ක්‍රියාත්මක වෙනවනේ? එතකොට දැන් ඔබතුමාලා දුම්රිය ධාවනය කරන්නේ... දුම්රිය ධාවනයට කවුද යොදාගෙන තියෙන්නේ මේ වර්ජනයක් ක්‍රියාත්මක වෙද්දී?
අසංක සමරසිංහ මහතා: ඔව්, ඇත්තටම දුම්රිය දෙපාර්තමේන්තුවේ වර්ජනයේ නිරත නිලධාරීන් වගේම නිරත නොවන නිලධාරීන් පිරිසකුත් ඉන්නවා. එතකොට තවත් ශ්‍රේණිවල නිලධාරීන් ඉන්නවා. ඉතින් මේ හැමෝගෙම සාමූහික උත්සාහයකින් තමයි දුම්රිය දෙපාර්තමේන්තුවේ විවිධ උපදෙපාර්තමේන්තු තියෙනවා, ප්‍රවාහන උපදෙපාර්තමේන්තුව, වාණිජ උපදෙපාර්තමේන්තුව, එතකොට යාන්ත්‍රික උපදෙපාර්තමේන්තුව, සංඥා උපදෙපාර්තමේන්තුව, ධාවන බල උපදෙපාර්තමේන්තුව, ආරක්ෂක අංශය... මේ සේරම එකතු වෙලා තමයි මේ දුම්රිය ක්‍රියාත්මක කරන්නේ. මේ හැමෝම තමන්ට පුළුවන් උපරිමයෙන් හැම වෙලාවෙම මගී ජනතාවට පහසුවක් සලසන්න ඒගොල්ලන්ගේ දායකත්වය සලසලා තියෙනවා.
නිශාන් ද සිල්වා : ඒ කියන්නේ වර්ජනයේ නිරත වෘත්තීය සමිතිවලට වඩා රාජකාරියේ නිරත වෙලා ඉන්න වෘත්තීය සමිති ප්‍රමාණය වැඩියිද?
අසංක සමරසිංහ මහතා : ඉතින් මං හිතනවා ඉහළ ප්‍රතිශතයක්, සීයට සීයකට වැඩි ප්‍රමාණයක් මං හිතන්නේ වැඩවර්ජනයට සහභාගී වෙලා නැතුව ඇති. මට ඇත්තටම ඒකට ඍජු අදහසක් කියන්න බෑ. මොකද මේ වෙලාවේදී එහෙම කවුන්ට් එකක් අපි අරගෙන නෑ.
නිශාන් ද සිල්වා : අද දින ඉන්ධන ප්‍රවාහන දුම්රියන් ධාවනය කෙරෙනවාද?
අසංක සමරසිංහ මහතා : අද දින ඉන්ධන ප්‍රවාහන දුම්රියන් ධාවනය කෙරෙනවා.
නිශාන් ද සිල්වා : අපිට ආරංචි වුණා අද පෙරවරුවේ ඇතැම් දුම්රිය ස්ථානවල දුම්රිය ප්‍රවේශ පත්‍ර නිකුත් කළේ නැහැ කියන කාරණාව. හවසටත් ඒ විදියටමද වෙන්නේ එතකොට?
අසංක සමරසිංහ මහතා: සමහරක් තැන්වල දුම්රිය ස්ථානාධිපතිවරුන් ප්‍රවේශ පත්‍ර නිකුත් කරන්නේ නැහැ. ඉතින් සමහරක් දුම්රිය ස්ථානවල ඒ වැඩවර්ජනයට සහභාගී වෙලා තියෙනවා නම් ඒ තැන්වල ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමක් වෙන්නේ නැහැ. හැබැයි මගීන්ට Pravesha.lk කියන වෙබ් අඩවිය හරහා තමන්ගේ ප්‍රවේශ පත්‍රය මිළදී ගැනීමේ පහසුකම් මේ වෙනකොට දුම්රිය දෙපාර්තමේන්තුව ලබාදීලා තියෙනවා. එතකොට ඒක ගැටලුවකින් තොරව මගීන්ට හැකියාව තියෙනවා තමන්ගේ ප්‍රවේශ පත්‍රය ලබාගැනීමට.
නිශාන් ද සිල්වා : ඔව්, ඒ ඇප් එක හැම මගියෙක්ම භාවිත කරන්නේ නැහැ. මේ වෙලාවේ, අද පස්වරුවේ දුම්රියට ගොඩවැදී ඉන්න මගියෙක්ට ප්‍රවේශ පත්‍රයක් මිළදී ගැනීමට නොහැකි වුණොත්, ඔහුට අද දිනයේ ප්‍රවේශ පත්‍රයක් නොමැතිව දුම්රියේ ගමන් කිරීමට හැකියාව තියෙනවාද?
අසංක සමරසිංහ මහතා: හැමෝම ළඟම අද ස්මාර්ට්ෆෝන් තියෙනවා. එතකොට බොහොම සරල දෙයක් ඒක. මං හිතන්නේ අපි ඉන්ධන ලබාගැනීමේදී ඒක බොහොම හොඳට භාවිත කළා. ඉතින් මං හිතන්නේ නැහැ ඒකේ කාටවත් අපහසුතාවයක් තියෙනවා කියලා. සහ මං හිතන්නේ මේ වෙලාවේ මගීන්ගෙන් මගීන්ට අන්‍යෝන්‍ය වශයෙන් උදව් කරනවා. ඉතින් මං හිතන්නේ නැහැ ඒගොල්ලන්ට ප්‍රවේශ පත්‍රයක් නැතුව දුම්රියේ යාමේ අවශ්‍යතාවයක් තියෙනවා කියලා. මොකද ඒගොල්ලෝ අවංකව කටයුතු කරනවා නම්, ප්‍රවේශ ඇප් එක හරහා තමන්ගේ ප්‍රවේශ පත්‍රය ලබාගැනීමේ හැකියාව උපරිම තරමට තියෙනවා.
නිශාන් ද සිල්වා : ධාවනය වන දුම්රියවලට සහ දුම්රිය ස්ථානවලට විශේෂ ආරක්ෂාවක් අද දිනයේ යොදවලා තියෙනවාද ඔබතුමාලා?
අසංක සමරසිංහ මහතා: ඔව්, ඇත්තටම මං හිතන්නේ ශ්‍රී ලංකා පොලීසිය, ඒ වගේම දුම්රිය ආරක්ෂක සේවය අවශ්‍ය පහසුකම් සලසලා තියෙනවා.
අද පෙරවරුවේ කාර්යාලිය දුම්රියෙන් පැමිණි මගීන් කිහිප දෙනෙකුද නෙත් නිවුස් වෙත මෙලෙස අදහස් පළ කළා.
මේක නම් සාර්ථක වෙන්නේ නැහැනේ, නිකන් අපි නිකන් ටිකට් ගන්නේ නැතුව අද ආවනේ. ටිකට් ගන්නේ නැතුව ආවා කියන්නේ ආණ්ඩුවට පාඩුවක්නේ මේක. ආණ්ඩුවට පාඩුවක් කරලා ආණ්ඩුව රිද්දන්න බැහැනේ. වෘත්තීය සමිති කියන්නේ ඇත්ත වශයෙන්ම වෘත්තීය සමිති කියන්නේ හැමදාම වෘත්තීය සමිති ස්ට්‍රයික් කරනවා. ස්ට්‍රයික් කරලා ස්ට්‍රයික් කරලා එන එන ආණ්ඩුව රිද්දන්නනේ ස්ට්‍රයික් කරන්නේ. ඒක නෙමෙයිනේ, වෘත්තීය සමිති හදාගන්න කොයි වෙලෙත්... රජය තමයි උත්සාහ කරන්න ඕනේ. බොහොම පරක්කුවක් තියෙනවා තමයි, ඒ වුණාට ඉතින් ඇත්තටම මේ වගේ වෙලාවකදී රජය අපහසුතාවයට පත් කිරීම සම්බන්ධයෙන් කණගාටුව පළකරනවා."
මේ අතර තමන් ආරම්භ කළ වැඩවර්ජනය සාර්ථක බවයි වර්ජනයේ නිරත දුම්රිය වෘත්තිය සමිති පැවසුවේ.
කෙසේවෙතත් සිය ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට බලධාරින් මෙතෙක් අවස්ථාවක් ලබාදි නොමැති බව වර්ජනයට එක්ව සිටින දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා නෙත් නිවුස් වෙත කියාසිටියා.
සිදුවූ සාකච්ඡාවක් දැනට ලබා දීලා නැහැ. පෙර පැවැති සාකච්ඡාවේදී අපි අවශ්‍ය කරුණු දැනුම් දීලා තියෙනවා. දුම්රිය ධාවනය සිදුවෙන්නේ නියමිත ක්‍රමවේදයට නෙමෙයි. දුම්රියේ ආදායම මේ මොහොතේ අහිමි වෙමින් පවතිනවා. දෛනික දුම්රිය ගමන් වාර අඩුවෙමින් අඩුවෙමින් ඇවිදින් 150ත් 180ත් අතර තියෙන පදනමක පවතින කාලයකදී, අද දිනයේදී දුම්රිය ගමන් වාර 45ක් 50ක් ධාවනය කරලා හුරේ දාන දෙපාර්තමේන්තු ප්‍රධානියා ගැන අපි කණගාටු වෙනවා. ඔහු කළ යුත්තේ මේ දුම්රිය ධාවනය නෙමෙයි, සමස්ත දුම්රිය පද්ධතියේ ප්‍රගමනයට කටයුතු කිරීම. ඒවා නොකර වංචා දූෂණ වලට අනුබල දෙමින් කටයුතු කිරීම පිළිබඳ අපි නැවත නැවතත් විරෝධය පළ කරනවා. අපේ සංකේත වැඩවර්ජනය හෙට දිනයේ රාත්‍රී 12 දක්වා අපි අඛණ්ඩව පවත්වාගෙන යනවා."
"දිනකට දුම්රිය ගමන් වාර 150ත් 180ත් අතර මට්ටමකට පහළ බැහැලා තියෙන්නේ. නමුත් සමස්තය ලංකාව පුරාම ධාවනයේදී 450ක පමණ ගමන් වාර ධාවනය විය යුතුයි. නමුත් රිච්මන්ඩ්-ලිවර්පූල් හරහා කදුරුවෙල ප්‍රදේශයේ නැති නිසා 350ක් 380ක් වගේ ප්‍රමාණයක් ධාවනය විය යුතු එක්ක, 150ක් ධාවනය කරමින් තමයි පවතින්නේ. ඒකත් මේ මොහොතේදී මේ වැඩවර්ජනයත් එක්ක 50ක සීමාවකට තමයි සීමා වෙලා තියෙන්නේ."
කෙසේවෙතත් ඇතැම් වෘත්තීය සමිති සිය පටු අරමුණු වෙනුවෙන් වර්ජනයේ නිරත වන බවයි ලොකමෝටිව් ඔපරේටස් ඉංජිනේරු සංගමය පැවසුවේ. මේ, එම සංගමයේ ලේකම් දිමුතු එදිරිසිංහ මහතා.
"අද උදෑසන කොළඹට පැමිණීමට තිබූ සෑම මාර්ගයකින්ම කොළඹට පැමිණීමට තිබූ කාර්යාල දුම්රිය සියල්ලම කොළඹ කරා ධාවනය වුණා. මේ අවස්ථාව වන විටත් ධාවනය වෙමින් පවතිනවා. දුම්රිය රියදුරු හිඟය මත කිසිදු දුම්රියක් අවලංගු වුණේ නැහැ. යම් යම් තාක්ෂණික දෝෂ නිසා දුම්රිය කිහිපයක් අවලංගු කිරීමට සිදු වුණත්, ඒ සඳහාද දුම්රිය රියදුරන් නිල කිරීම් කටයුතු සිදු කර තිබුණා. එම නිසා දුම්රිය රියදුරන්ගේ කිසිදු හිඟයක් මේ වන විට නැහැ. දුම්රිය ධාවනයත් සාමාන්‍ය පරිදි සිදුවෙනවා. මගී ජනතාවට කියන්න තියෙන්නේ කිසිදු අපහසුතාවයක් නැහැ, දුම්රිය වෙනදා මෙන්ම සාමාන්‍ය පරිදි ධාවනය වෙනවා. ඔබ ප්‍රවාහන කටයුතු සඳහා දුම්රිය භාවිතා කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා. ප්‍රමාදයන් සිදුවෙනවා, ඒ තාක්ෂණික කටයුතු නිසා. එසේ නොමැතිව දුම්රිය කිසිවක් අවලංගු වුණේ නැහැ. දුරගමන් සේවා කිහිපයක් නැවතුණා, ඒටත් හේතුව මේ වර්ජනය නිසා සිදුවන දුම්රිය රියදුරු හිඟය නෙවෙයි. දුම්රියේ තාක්ෂණික දෝෂ කිහිපයක් නිසා තමා ඒවා අවලංගු කිරීමට සිදු වුණේ. වෘත්තීය සමිති යම් යම් නායකයින්ගේ පෞද්ගලික පටු උවමනාවන් මේ තුළ ගැබ් වෙලා ඇති කියලා අපි විශ්වාස කරනවා. ඉතාමත්ම පැහැදිලිව වර්තමාන කාලය තුළ සිදු කරන ලද අසාර්ථකම වර්ජනය මේ බව අප සංගමයක් විදිහට නෙවෙයි, මගී ජනතාවගෙන් අදහස් ලබාගෙන බලන්න ඔවුන් අපහසුතාවයට පත් වුණාද මේ දුම්රිය වර්ජනය නිසා කියලා."
සමස්ත ලංකා දුම්රිය සේවකයන්ගේ පොදු සේවක සංගමයේ ලේකම් එස් පී විතානගේ මහතාද දුම්රිය වර්ජනය සම්බන්ධයෙන් අදහස් පළ කළා.
"දුම්රිය වැඩවර්ජනයට සම්බන්ධ වෙච්ච වෘත්තීය සමිති 25ක පමණ ප්‍රමාණයක් හිටියා. දුම්රිය වැඩවර්ජනයට සම්බන්ධ වෙච්ච වෘත්තීය සමිති කියන ආකාරයට, ඒ වෘත්තීය සමිති වල නායකයින් පමණයි සමහර වෙලාවට වැඩවර්ජනයට සම්බන්ධ වෙලා තිබුණේ. සමහර වෙලාවට ඒ වැඩවර්ජනයට ඒ නායකයින් පවා සම්බන්ධ වෙලා තිබුණේ නැහැ. ඒ නිසා දුම්රිය ස්ථානවල කටයුතු පවත්වාගෙන යාමට අපට පුළුවන් වුණා. දුම්රිය ස්ථාන කිහිපයක හැර අනික් දුම්රිය ස්ථානවල කටයුතු පවත්වාගෙන යන්න පුළුවන්කම ලැබුණා. කොටුව, මරදාන දුම්රිය ස්ථානයේ කටයුතු නිසි පරිදි පවත්වාගෙන යනවා. ඒ වගේම පිට ප්‍රදේශවල අනික් දුම්රිය ස්ථානවලත් කටයුතු පවත්වාගෙන යනවා. ඒ නිසා දැන් දුම්රිය වැඩවර්ජනය නිසා වැඩවර්ජකයෝ බොහෝ වෙලාවට උත්සාහ කරා දුම්රිය ධාවනය අත්හිටුවලා රටට දැවැන්ත හානියක් කරන්න, රජයට පාඩුවක් කරන්න සහ රජයට පීඩාවක් ඇති කරන්න, මගී ජනතාවට විශාල පීඩාවක් ඇති කරන්න. නමුත් ඒ අරමුණ, වැඩවර්ජකයින්ගේ ඒ අරමුණ පරාජය කරලා අපට පුළුවන්කම ලැබුණා දුම්රිය ධාවන කටයුතු නිසි ආකාරයෙන් කරන්න."




