පකිස්ථානයේ විවාහ විය හැකි අවම වයස අවුරුදු 18 දක්වා ඉහළ නැංවීමට යෝජිත ප්‍රාදේශීය නීතියක් පිළිබඳව එරට සුළුතර නායකයින් සහ මානව හිමිකම් ක්‍රියාකාරීන් සැක පළ කර ඇති අතර බාලවයස්කාර දැරියන් බලහත්කාරයෙන් ආගමට හරවා විවාහ කර දීමේ ගැටලුවට විසඳුම් ලබා දීමට එය අපොහොසත් වන බවට අනතුරු අඟවා ඇත.
පන්ජාබ් පළාත් සභාවේ පළාත් පාලන සහ ප්‍රජා සංවර්ධන ස්ථාවර කාරක සභාව විසින් 2026 අප්‍රේල් 13 වන දින අනුමත කරන ලද 'පන්ජාබ් ළමා විවාහ සීමා කිරීමේ පනත් කෙටුම්පත 2026' මගින් ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වය සඳහාම විවාහ විය හැකි නීත්‍යානුකූල අවම වයස අවුරුදු 18 ලෙස නියම කර ඇත.
ඒ අනුව දැරියන්ගේ විවාහ වයස අවුරුදු 16 සිට පිරිමි ළමුන්ගේ වයසට සමාන වන පරිදි ඉහළ නංවා තිබේ.
මෙම පනත් කෙටුම්පත මගින් විවාහ රෙජිස්ට්‍රාර්වරුන්ට ළමා විවාහ ලියාපදිංචි කිරීම තහනම් කර ඇති අතර, එය උල්ලංඝනය කරන්නන්ට වසරක් දක්වා සිරදඬුවම් සහ රුපියල් 100,000 ක දඩයක් නියම කළ හැකිය.
එසේම මෙම පනත යටතේ සිදුකරන සියලුම වැරදි පොලිසියට වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගත හැකි, ඇප ලබා දිය නොහැකි සහ සමනය කළ නොහැකි වැරදි ලෙස ප්‍රකාශයට පත් කර ඇති අතර, ඒ සඳහා පූර්ව අධිකරණ අනුමැතියකින් තොරව ක්‍රියා කිරීමට පොලිසියට අවසර ලැබේ.
මෙම නඩු දිස්ත්‍රික් මට්ටමේ ඉහළම අපරාධ අධිකරණය වන මහාධිකරණය (Courts of Session) මගින් විභාග කළ යුතු අතර දින 90ක් ඇතුළත අවසන් කළ යුතුය.
සින්ද්, බලුකිස්ථාන් සහ ඉස්ලාමාබාද් අගනුවර කලාපයේ පවතින සමාන නීති අනුගමනය කරමින් මෙම යෝජිත නීතිය ගෙන ආවද, කයිබර් පක්තුන්ක්වා (Khyber Pakhtunkhwa) පළාතේ තවමත් වයස අවුරුදු 16 දී දැරියන් විවාහ කර දීමට අවසර ඇත.
මුස්ලිම් බහුතරයක් වෙසෙන පකිස්ථානයේ සුළුතර ප්‍රජාවන්, බොහෝ විට ඉස්ලාම් ආගමට බලහත්කාරයෙන් හරවා ගැනීම හා සම්බන්ධ බාලවයස්කාර දැරියන්ගේ බලහත්කාර විවාහවලට එරෙහිව දශක ගණනාවක් තිස්සේ විරෝධය පළ කරති.
කතෝලික රදගුරු මණ්ඩලයේ යුක්තිය සහ සාමය පිළිබඳ ජාතික කොමිසම විසින් අප්‍රේල් 11 වන දින නිකුත් කරන ලද වාර්තාවක ප්‍රධාන නිර්දේශයක් වූයේ විවාහය සහ ආගම වැළඳ ගැනීම යන දෙකම සඳහා අවම වයස අවුරුදු 18 ලෙස නියම කිරීමයි. එම වාර්තාව බලහත්කාරයෙන් ආගමට හරවා ගැනීමේ සිද්ධීන් 10ක් ලේඛනගත කර ඇත.




