දිට්වා සුළි කුණාටුව මේ වන විට යාපනය සිට කිලෝමීටර් 170ක් උතුරට බරව ඊසාන දෙසින් කේන්ද්‍රගත වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

මෙම පද්ධතිය තවදුරටත් උතුරු දෙසට ගමන් කරනු ඇති බවයි අපේක්‍ෂා කෙරෙන්නේ.

ඒ අනුව පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයේද අඩුවීමක් අද සිට අපේක්‍ෂා කෙරෙනවා.

මේ, ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ කසුන් පැස්කුවෙල් මහතා.

ඒ අනුව මෙම බලපෑම හේතුවෙන් ත්‍රිකුණාමලය සිට කන්කසන්තුරය සහ මන්නාරම හරහා පුත්තලම දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළං වේගය පැයට කිලෝමීටර් 50ත් 60ත් දක්වා අගයක් ගන්නා අතර විටින් විට පැයට කිලෝ මීටර් 70 දක්වා වන ප්‍රහාරාත්මක සුළං ඇතිවිය හැකි බවයි අද පෙරවරු 09යි 30ට නිකුත් කළ කාලගුණ අනාවැකියේ දැක්වෙන්නේ.

දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝ මීටර් 30ත් 40ත් දක්වා වන අතර කොළඹ සිට මීගමුව හරහා පුත්තලම දක්වා සහ ත්‍රිකුණාමලය සිට පොතුවිල් හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය කිලෝ මීටර් 50 පමණ දක්වා වැඩි විය හැකියි.

මෙම මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු වන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.

මේ අනුව ත්‍රිකුණාමලය සිට කන්කසන්තුරය සහ මන්නාරම හරහා පුත්තලම දක්වා වන මුහුදු ප්‍රදේශවල තවදුරටත් ධීවර සහ නාවික කටයුතුවලින් වැළකී සිටින ලෙසයි එම දෙපාර්තමේන්තුව දැනුම්දෙන්නේ.

දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවලද ධීවර සහ නාවික කටයුතුවල යෙදීම අනතුරුදායක බවයි අදාළ කාලගුණ අනාවැකියේ වැඩිදුරටත් දැක්වෙන්නේ.