2027 වසරේ පැවැත්වීමට නියමිත ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර සූදානමක් ලෙස, ශ්‍රී ලංකාව සහ පාකිස්තානය සමඟ එක්ව තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියක් පැවැත්වීමට බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය යෝජනා කර තිබෙනවා.

පසුගියදා ඉන්දුනීසියාවේ බාලි හි පැවැති ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල හමුව අතරතුරදී බංග්ලාදේශය මෙම යෝජනාව ඉදිරිපත් කර ඇති අතර, ඊට ශ්‍රී ලංකාවෙන් සහ පාකිස්තානයෙන් ද යහපත් ප්‍රතිචාරයක් ලැබී ඇති බවයි විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කරන්නේ.

කෙසේ වෙතත්, තරගාවලිය සම්බන්ධයෙන් වන අවසන් තීරණය මෙතෙක් ප්‍රකාශයට පත්කර නැහැ.

ශ්‍රී ලංකා සහ පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩල මේ වන විට මෙම යෝජනාව සලකා බලමින් සිටින අතර, එම රටවල් දෙකෙහි නිල එකඟතාව හිමිවූ වහාම තරගාවලිය පිළිබඳ නිල නිවේදනය නිකුත් කිරීමටයි බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය සැලසුම් කර ඇත්තේ.

2027 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ලබන වසරේ ජූනි 18 වනදා සිට ජූලි 4 වනදා දක්වා බංග්ලාදේශයේ සත්කාරකත්වයෙන් පැවැත්වීමට නියමිතයි.

බංග්ලාදේශය අවසන් වරට ආසියානු කුසලාන තරගාවලියකට සත්කාරකත්වය ලබා දුන්නේ 2016 වසරේදී වන අතර, විස්සයි විස්ස ආකෘතියෙන් පැවති එම තරගාවලියේ අනුශූරතාව දිනා ගැනීමට ද ඔවුන් සමත් වුණා.