එංගලන්තය පරාජය කරමින් සහ ඉතිහාසය වෙනස් කරමින් අසමසම එක්දින ක්රිකට් ජයග්රහණයක් හිමිකර ගැනීමට ශ්රී ලංකාව ඊයේ රාත්රී සමත් වුණා.
ඔවුන් මෙම විශිෂ්ට දක්ෂතාව දැක්වූයේ පකිස්ථානයේ පැවැත්වෙන තුන්කොන් ක්රිකට් තරගාවලියේදීයි.
තරගය ජයගැනීම සඳහා ශ්රී ලංකා කණ්ඩායමට ලැබුණු ඉලක්කය ලකුණු 430ක්. ශ්රී ලංකා ක්රීඩකයන් එය ජයගනු ඇතැයි ආරම්භයේදී කිසිවෙකු බලාපොරොත්තු වූයේ නොමැති තරම්.
එහෙත් ඉනිම ආරම්භයේ සිටම බලාපොරොත්තු දල්වන පිතිහරඹයක යෙදුණු ශ්රී ලංකා ක්රීඩකයින් ඉනිම අවසන් වීමට එක පන්දුවක් ඉතිරිව තිබියදී කඩුලු 8ක් පමණක් දැවී ලකුණු 430ක් ලබාගනිමින් තරගය ජය ගත්තා.
තරගය ජය ගැනීම සඳහා අවසන් පන්දු දෙකේදී ලකුණු හයක් අවශ්ය වූ අතර ශ්රී ලංකාව ජය තහවුරු කර ගත්තේ අවසන් පන්දුවට පෙර පන්දුවේදී ජනිත් ලියනගේ එල්ල කළ දැවැන්ත 6යේ පහරකින්.
ශ්රී ලංකා කණ්ඩායම එක්දින ක්රිකට් තරඟයකදී හඹා ගොස් ජයගත් වැඩිම ලකුණු සංඛ්යාව මෙයයි.
ලෝකයේ ඕනෑම කණ්ඩායමක් හඹා ගොස් ජයගත් දෙවන වැඩිම ලකුණු සංඛ්යාවද මෙය වනවා.
එය දෙවැනි වූයේ 2006 වසරේදී ලකුණු 438ක ඉලක්කයක් අඹා යමින් ඕස්ටේ්රලියාව පරාජය කරමින් දකුණු අප්රිකාව ලැබූ ජයග්රහණයට පමණයි.
තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් එංගලන්ත ක්රීඩකයින් නියමිත පන්දුවාර 50දී කඩුලු 4ක් දැවී ලකුණු 429ක් ලබාගත්තා.
එය එතෙක් කිසියම් හෝ කණ්ඩායමක් පකිස්ථානයේදී එක්දින තරගයකදී රැස්කළ වැඩිම ලකුණු සංඛ්යාවයි.
ඒ නිසා එංගලන්තය තරඟය ඉතා පහසුවෙන් ජයගනු ඇති බවටයි බොහෝ දෙනා විශ්වාස කළේ.
තරඟයේ විස්තර විචාරය යෙදුණු වකා යුනිස් වැනි හිටපු ශ්රේෂ්ඨ ක්රිකට් ක්රීඩකයන්ද මෙම ඉලක්කය ශ්රී ලංකාවට ජයගත හැකිවේදයි ඇසූ ප්රශ්නයේදී උත්තර දුන්නේ කට කොනකින් සිනහසෙමින්.
එහෙත් පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසී ශ්රී ලංකා පිතිකරුවන් සටන්කාමී පිතිහරඹයක නිරත වුණා.
ඒ තරඟය ලෙහෙසියෙන් අත හැරීමට තමන් සූදානම් නොමැති බව පෙන්වා දෙමින්.
ආරම්භක පිතිකරුවෙකු ලෙස පිටියට පිවිසි අවිශ්ක ප්රනාන්දු පන්දු 83කදී ලකුණු 97ක් ලබා ගනිමින් දැවැන්ත හඹායාමට පදනම සකස් කළා.
කමිදු මෙන්ඩිස් ලකුණු 18කට සහ කුසල් මෙන්ඩිස් ලකුණු නොලබා දැවී යාම ශ්රී ලංකා කණ්ඩායමට තර්ජනයක් වුවත් එය ආපසු හරවන්න සමත් වුණේ පවන් රත්නායක සහ දසුන් ශානකයි.
ශ්රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූයේ පවන් රත්නායක.
ඔහු පන්දු 106කදී ලකුණු 130ක් ලබා ගත්තා. ඒ හයේ පහර 3ක් සහ හතරේ පහර 15ක් ද සමගයි.
වෙනදා පිතිකරු ලැයිස්තුවේ පහළින් පැමිණෙන දසුන් ශානක ඊයේ අංක පහ පිතිකරු ලෙස පිටියට පිවිසි අතර ඔහු පන්දු 50කදී ලකුණු 97ක් ලබා ගත්තා.
ඊට හයේ පහර 8ක් සහ හතරේ පහර 6ක් ඇතුළත්.
ශ්රී ලංකාව වෙනුවෙන් වේගවත්ම ඉනිමක් ක්රීඩා කළේ ජනිත් ලියනගේයි.
ඔහු පන්දු 27කදී ලකුණු 61ක් ලබාගත්තා. ඊට හයේ පහර 3ක් සහ හතරේ පහර 7ක් ඇතුළත්.
කණ්ඩායම් දෙක එක්ව එක්දින තරඟයකදී රැස්කළ දෙවන වැඩිම ලකුණු සංඛ්යාවද සටහන් කරමින් මෙම තරඟය ඉතිහාසගත වුණා.
එංගලන්තය වෙනුවෙන් නායක හැරී බෲක් පන්දු 116දී ලකුණු 202ක් ලබාගත් අතර එය එක්දින ක්රිකට් පිටියේ වේගවත්ම ද්විත්ව ශතක වලින් එකක්.
ක්රිකට් ඉතිහාසය වෙනස් කළ මෙම තරඟය පැවැත්වුණේ පකිස්ථානයේ රාවල්පින්ඩි ක්රීඩාංගණයේදීයි.




