වයස අවුරුදු 23න් පහළ BIMSTEC ක්‍රීඩා උළෙලේදී සමස්ත පදක්කම් සටහනේ දෙවන ස්ථානය තහවුරු කරගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා.

ඒ, රන් පදක්කම් 10ක්, රිදී පදක්කම් 12ක් සහ ලෝකඩ පදක්කම් 16ක් ලෙස මුළු පදක්කම් 38ක් දිනා ගනිමින්.

පදක්කම් සටහනේ ප්‍රථම ස්ථානය තහවුරු කර ගත්තේ රන් පදක්කම් 22ක්, රිදී පදක්කම් 18ක් සහ ලෝකඩ පදක්කම් 7ක් ලෙස මුළු පදක්කම් 47ක් දිනාගත් ඉන්දියාවයි.

බංග්ලාදේශය රිදී පදක්කම් 2ක් සහ ලෝකඩ පදක්කම් 8ක් දිනා ගනිමින් 3වන ස්ථානය තහවුරු කරගත්තා.

සමස්ත පදක්කම් සටහනේ 4වන ස්ථානය හිමිවූයේ නේපාලයටයි.

ඔවුන් එක් රිදී පදක්කමක් පමණක් දිනා ගත්තා.

මෙම ක්‍රීඩා උළෙල පැවැත්වුණේ ඉන්දියාවේ ඔඩීෂාහි කාලිංග ක්‍රීඩාංගනයේදීයි.

ශ්‍රී ලංකාව, ඉන්දියාව, බංග්ලාදේශය, නේපාලය, භූතානය සහ මියන්මාරය යන රටවල් ඒ සඳහා සහභාගි වුණා.

ඉකුත් 25 වනදා ආරම්භ වූ ක්‍රීඩා උළෙල අවසන් වූයේ ඊයේ පස්වරුවේයි.

මෙහිදී ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු රන් පදක්කම දිනා ගත්තේ උස පැනීම පිරිමි ඉසව්වට තරඟ වැදුනු නෙත්‍ය සම්පත් විසින්.

උස පැනීම කාන්තා ඉසව්වේ රන් පදක්කමද ශ්‍රී ලංකාවට හිමිවුණා.

එය දිනා ගත්තේ මිහංසා දෙව්මිනී විසින්.

ශ්‍රී ලංකාව වෙනුවෙන් තවත් රන් පදක්කමක් දිනා ගැනීමට මීටර් 400 කඩුලු මතින් දිවීම පිරිමි ඉසව්වට තරඟ වැදුණු මුතුනායක ඩී චතුරංග සමත් වුණා.

මීටර් 400 කඩුලු මතින් දිවීම කාන්තා ඉසව්වේ රන් පදක්කමද දිනාගත්තේ ශ්‍රී ලංකාවයි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් එම රන් පදක්කම දිනා ගැනීමට අරලිය ගීගණගේ සමත් වුණා.

මීටර් 200 පිරිමි සහ කාන්තා ධාවන ඉසව් දෙකේද රන් පදක්කම් දිනා ගත්තේ ශ්‍රී ලංකාවයි.

මීටර් 200 පිරිමි ධාවන ඉසව්වේ රන් පදක්කම ශ්‍රී ලංකාව වෙනුවෙන් දිනා ගැනීමට ටිමේෂ් චාන් කොස්තා ද මීටර් 200 කාන්තා ධාවනයේ ඉසව්වේ රන් පදක්කම ශ්‍රී ලංකාව වෙනුවෙන් දිනා ගැනීමට කේ රිසංසා හිරුපමා ද සමත් වුණා.

වයස අවුරුදු 23 න් පහළ BIMSTEC ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව තවත් රන් පදක්කමක් දිනා ගත්තේ දුර පැනීම පිරිමි ඉසව්වෙන්.

ශ්‍රී ලංකාව වෙනුවෙන් එහිදී රන් පදක්කම දිනා ගැනීමට ඒ පී. ක්‍රිෂාන්දන් සමත් වුණා.

මෙම ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව අනෙක් රන් පදක්කම දිනා ගත්තේ මීටර් 800 කාන්තා ධාවන ඉසව්වෙන්.

වත්තේ ගෙදර ලක්ෂානි ශ්‍රී ලංකාව වෙනුවෙන් එහිදී රන් පදක්කම දිනා ගත්තා.

මෙලෙස ශ්‍රී ලංකාව රනින් සැරසූ සහ ශ්‍රී ලංකාව වෙනුවෙන් රිදී සහ ලෝකඩ පදක්කම් දිනාගත් සියලු ක්‍රීඩක ක්‍රිඩිකාවන්ටද නෙත් නිව්ස් අපේ සුභ පැතුම්.