රක්ෂිත බන්ධනාගාරගත කළ හිටපු අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන මහතාගේ පාර්ශවයෙන් කළ ඉල්ලීමක් බන්ධනාගාරය ප්‍රතික්ෂේප කර තිබෙනවා.

හිටපු අමාත්‍යවරයාට පිටතින් ආහාර ලබාදීමට එලෙස ඉල්ලා ඇති බවයි බන්ධනාගාර ආරංචි පැවසුවේ.

එම ඉල්ලීම බන්ධනාගාරයෙන් සිදු කර ඇත්තේ එස් එම් චන්ද්‍රසේන මහතාගේ හිටපු ලේකම්වරයෙකු බවටයි වාර්තා වුණේ.

යම් රැඳවියෙකුට පිටතින් ආහාර ලබා ගැනීමට අවශ්‍ය නම් එම ඉල්ලීම සිදු කළ යුත්තේ අදාළ රැඳවියාගේ පවුලේ සමීපතමයෙකු වනවා.

හිටපු අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන මහතාට පිටතින් ආහාර ලබා ගැනීම සඳහා ඉල්ලීම සිදු කළ අදාළ හිටපු ලේකම්වරයා පවුලේ සමීපතමයෙකු නොවන බවයි බන්ධනාගාර ආරංචි පැවසුවේ.

ඒ අනුව ඔහු කළ එම ඉල්ලීම බන්ධනාගාරය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

කෙසේවෙතත් පවුලේ සමීපතමයෙකු එම ඉල්ලීම සිදු කළහොත් ඊට අවසර දෙන බවයි බන්ධනාගාර ආරංචි පැවසුවේ.

එතෙක් හිටපු අමාත්‍යවරයාට බන්ධනාගාරයෙන් ලබාදෙන ආහාර තවදුරටත් ලබා ගැනීමට සිදුවනවා.

රක්‍ෂිත බන්ධනාගාරගත කළ හිටපු අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන මහතා කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ එම් වාට්ටුවේ රඳවා සිටිනවා.

ඒ, විවිධ චෝදනා යටතේ රිමාන්ඩ් කර සිටින රජයේ නිලධාරීන් පිරිසක්ද සමගින්.

පසුගිය 4 වනදා අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන මහතා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 18 වනදා රක්‍ෂිත බන්ධනාගාරගත කෙරුණා.

ඒ, 2014 වසරේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ දිළිඳු ගොවීන් සඳහා සහනදායි මිල ගණන් යටතේ බෙදා දීමට රුපියල් මිලියන 25ක මුදලක් වැයකර මිලදී ගනු ලැබූ බඩ ඉරිඟු බීජ නීත්‍යානුකූල ක්‍රමවේදයට පටහැනිව එම වසරේ පැවති ජනාධිපතිවරණයේදී තමන්ට වාසියක් අත් කර ගැනීමේ අරමුණින් තම හිතවතුන්ට හා ආධාරකරුවන් අතර බෙදා හැරීම තුළින් දූෂණය නැමති වරද සිදු කළ බවට වූ චෝදනාවකට අදාළවයි.

ඒ අනුව එදින පස්වරුවේ කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය වෙත රැගෙන ආ හිටපු අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන මහතා එම් වාට්ටුවේ රැදවූ බවයි බන්ධනාගාර ආරංචි පැවසුවේ.

ඉන් අනතුරුව බන්ධනාගාර වෛද්‍යවරුන් විසින් ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබද පරීක්‍ෂාකර තිබෙනවා.

එහිදී අනාවරණ වී ඇත්තේ ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් බවයි.

ඒ අනුව හිටපු අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන මහතා තවදුරටත් එම බන්ධනාගාරයේ එම් වාට්ටුවේ රඳවා සිටින බවයි බන්ධනාගාර ආරංචි පැවසුවේ.