කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයකට පැය කිහිපයක් තිස්සේ විදුලිය බිඳවැටී තිබෙනවා.

බොහෝ පිරිස් වෙසක් සැරසිලි සිදුකරමින් සිටියදී සහ විහාරස්ථානවලත් තවත් ස්ථානවලත් වෙසක් පින්කම් සිදුකෙරෙමින් තිබියදීයි මෙලෙස ප්‍රදේශ රැසකට විදුලිය බිඳ වැටී ඇත්තේ.

මේ නිසා පින්කම්වල යෙදී සිටින සැදැහැවතුන් සහ සැරසිලි සිදු කරන්නන් ඉමහත් පීඩාවකට පත්ව සිටිනවා.

මේ පිළිබඳ කළ විමසීමකදී බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා කියා සිටියේ ජාතික විදුලිබල පද්ධතියේ අසමතුලිතතාවයක් හේතුවෙන් කොළඹ ඇතුලු ප්‍රදේශ කිහිපයක විදුලිය විසන්ධි කර ඇති බවයි.

පද්ධතියේ ස්ථායීතාවය පවත්වා ගැනීම සඳහා මෙම පියවර ගත් බව ද ඔහු පැවසුවා.

මෙහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ, අද දිනයේ පවතින අඩු විදුලි ඉල්ලුම හේතුවෙන් ජාතික විදුලි පද්ධතිය අසමතුලිත වී ඇති බවයි.

ඒ අනුව මෙම ක්‍රියාමාර්ගය ගැනීමට ගැනීමට සිදුවූ බවද අමාත්‍යවරයා පැවසුවා.

කෙසේ වෙතත් විදුලිය විසන්ධි කර ඇති ප්‍රදේශවල විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කිරීම සඳහා දැන් කටයුතු කරමින් සිටින බවයි අමාත්‍ය අනුර කරුණාතිලක වැඩිදුරටත් පවසන්නේ.

මේ අතර විදුලි ඉල්ලුම අඩුවීම නිසා පද්ධතියේ ස්ථායීතාව පවත්වාගෙන යාම සඳහා වහලය මත සවිකර ඇති සූර්ය පැනල අද පස්වරු 3 තෙක් ක්‍රියා විරහිත කර තබන ලෙස නැෂනල් සිස්ටම් ඔපරේටර් සමාගම සූර්ය පැනල හිමිකරුවන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

වෙසක් උත්සව සමය තුළ මුළු දිවයිනටම අඛණ්ඩ සහ ආරක්ෂිත විදුලි සැපයුමක් ලබාදීම සඳහා පවසමිනුයි ඔවුන් මෙම ඉල්ලීම කර ඇත්තේ.