සිය රට සමඟ රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා නැවත ආරම්භ කිරීමට අවශ්‍ය නම් ඉරානයට තවදුරටත් ප්‍රහාර එල්ල කිරීම අමෙරිකාව විසින් ප්‍රතික්ෂේප කළ යුතු බව ඉරානයේ නියෝජ්‍ය විදේශ අමාත්‍ය මජිඩ් තක්ත් රාවන්චි පවසා තිබෙනවා.

සාකච්ඡා සඳහා ඉරානයට ආරාධනා කර ඇති නමුත් ඉරානයට එරෙහිව අමෙරිකාව සිදු කරන ප්‍රහාර සම්බන්ධයෙන් පැහැදිලි ප්‍රකාශයක් සිදු කර නොමැති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

ඉරානය රහසිගතව න්‍යෂ්ටික අවි නිෂ්පාදනය කරන බවට සිදු වන චෝදනා ද ඉරානය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

සාමකාමී අරමුණු සඳහා පමණක් යුරේනියම් බලගැන්වීම සිදු වන බවයි ඉරානයේ නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා පැවසුවේ.

මිට අමතරව මාස කිහිපයක් ඇතුළත බෝම්බයක් නිපදවීම සඳහා යුරේනියම් බලගැන්වීම නැවත ආරම්භ කිරීමට ඉරානයට හැකියාව ඇති බව අමෙරිකාවේ න්‍යෂ්ටික නිරීක්ෂණ සංවිධානයේ ප්‍රධානියා පවසා තිබෙනවා.

කෙසේවෙතත් ඒ පිළිබඳව නිශ්චිතව පැවසිය නොහැකි බවයි ඉරාන නියෝජ්‍ය විදේශ අමාත්‍ය මජිඩ් තක්ත් රාවන්චි සඳහන් කළේ.

ඔහු වැඩිදුරටත් පවසන්නේ ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් විවේචනය කරන පාර්ශවයන් අමෙරිකාව සහ ඊශ්‍රායලය ද විවේචනය කළ යුතු බවයි.

එලෙස විවේචනය කිරීමට අපොහොසත් වන්නේ නම් ඔවුන් විසින් ආක්‍රමණ සාධාරණීකරණය කිරීමට උත්සාහ නොකළ යුතු බවයි ඉරානයේ නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා පැවසුවේ.