ලංකා විදුලිබල මණ්ඩලය විසින් මෙම වසරේ පළමු කාර්තුව සඳහා විදුලි ගාස්තු සංශෝධනය කිරීමේ යෝජනාව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කර ඇත්තේ විෂය භාර අමාත්‍යවරයාගේ නිර්දේශය මත බව විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය පවසනවා.
එවන් පසුබිමක් තුළ අදාල යෝජනාව සම්බන්ධයෙන් ආණ්ඩුව නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවයි එම සංගමයේ ජාතික ලේකම් සංජීව ධම්මික මහතා මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසුවේ.
පසුගිය වසරේ අවසන් කාර්තුව ලාබදායී කාර්තුවක් බවට පත්කර ගැනීමට තිබූ අවස්ථාවද ලංකා විදුලිබල මණ්ඩලය අහිමි කරගත් බවයි ඔහු පෙන්වා දුන්නේ.
ඒ අනුව එම සිද්ධියට අදාලව පරික්ෂණයක් සිදු කරන ලෙසටද විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ජාතික ලේකම්වරයා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවෙන් ඉල්ලීමක්ද කළා.
මෙම වසරේ මුල් මාස තුන ඇතුළත සමස්ත විදුලි ගාස්තුව සියයට 11යි දශම 5යි 7ක ප්‍රතිශතයකින් ඉහළ නැංවිය යුතු බවට ලංකා විදුලිබල මණ්ඩලය යෝජනා කර තිබෙනවා.
2026 පළමු කාර්තුව සඳහා අපේක්ෂිත පිරිවැය රුපියල් මිලියන එක් ලක්ෂ තිස් හත්දහස් දහසයක් වනවා.
පවතින ගාස්තු යටතේ ලැබෙන ආදායම රුපියල් මිලියන එක් ලක්ෂ දහතුන් දහස් එකසිය හැට එකක්.
ඒ අනුව රුපියල් මිලියන 13,094ක ආදායම් හිඟයක් පවතින බැවින් මෙම ගාස්තු වැඩිකිරීම අත්‍යවශ්‍ය බවටයි ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කර ඇත්තේ.
මේ අතර විදුලි ගාස්තු ඉහළ දැමීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය කළ යෝජනාව අධ්‍යයනය කර ඒ පිළිබඳ මහජන අදහස් විමසීමට පියවර ගන්නා බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසනවා. ඒ අනුව ජනවාරි 02 වන සතිය වනවිට මහජන අදහස් ලබා ගැනීම ආරම්භ කර සති 06ක කාලයක් තුළ ගාස්තු සංශෝධනය පිළිබඳ එම කොමිෂන් සභාවේ තීරණය දැනුම්දීමට නියමිතයි.




