කොළඹට ප්‍රහාරයක් එල්ල කිරීමේ සැලසුමක් පිළිබඳ පැතිර යන රාවයන් සත්‍යයෙන් තොර බව පොලිසිය පවසනවා.

එවැනි කිසිදු තර්ජනයක් නොමැති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ් යූ වුට්ලර් මහතා පැවසුවේ.

කොළඹ ප්‍රදේශයේ බෝම්බ පිපිරවීම සඳහා කුමන්ත්‍රණය කිරීම හා ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන ක්‍රියාකාරකම් සිදුකිරීමට සැලසුම් කළ බවට සැකපිට සංවිධානාත්මක අපරාධ කල්ලියක සාමාජිකයෙකු ඉකුත්දා අත්අඩංගුවට ගැනුනා.

ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශයට ලැබුණු තොරතුරකට අනුව සිදු කෙරුණු විමර්ශනයකදී ඔහු අත්අඩංගුවට ගැනුනේ.

මෙම සැකකරු ජාඇල කලාවේදිය පාතිමා ප්‍රදේශයේ නිවසක සැඟව සිටියදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විසි අටවන වියේ පසුවන්නේ කුවණ ඔහු කොළඹ පහළව අලුත් මාවත  පදිංචි අයෙක්.

ඔහු  සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙස කුප්‍රකට මොහොමඩ් නජීම් මොහොමඩ් ඉම්රා නොහොත් කංජිපාණී ඉම්රාන් සමගද සම්බන්ධතා පවත්වා ඇතැයි වාර්තා වුණා.

මෙම සැකකරු අත්අඩංගුවට ගැනීම පිළිබඳ ප්‍රවෘත්තියක් සමඟයි කොළඹට ප්‍රහාරයක් එල්ල කිරීමේ සැලසුමක් පිළිබඳ රාවයන් පැතිර ගියේ.

මේ පිළිබඳවද නෙත් නිව්ස් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගෙන් ප්‍රශ්න කළා.

ඔහු පැවසුවේ ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශය විසින් ජාඇල ප්‍රදේශයේදී සැකකරුවකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

ඔහුගෙන් තවදුරටත් ප්‍රශ්න කිරීම සිදුවන බවද එහෙත් ප්‍රහාරයක් පිළිබඳ කිසිදු බියක් ඇති කර නොගත යුතු බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අවධාරණය කළා.