පවතින අධික වැසි සමග සුංගාවිල - සෝමාවතිය ප්‍රධාන මාර්ගය ජලයෙන් යට වීම හේතුවෙන් එම මාර්ගය තාවකාලිකව වසා දමා තිබෙනවා.

මේ වන විට එම මාර්ගය 35 කණුව ප්‍රදේශයෙන් අඩි තුනක් පමණ ජලයෙන් යටවී ඇති බව නෙත් නිවුස් වාර්තාකරු පැවසුවා.

මේ හේතුවෙන් සෝමාවතිය පුදබිමට ප්‍රවේශ වීම සම්පූර්ණයෙන්ම අඩාල වී ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර කොළඹ - බදුල්ල ප්‍රධාන මාර්ගයේ බෙරගල සහ හපුතලේ කොටසේ ස්ථාන දෙකක පස් කඳු කඩා වැටීම හේතුවෙන් අද පස්වරුවේ එම කොටසේ රථවාහන ධාවනයට එල්ල වී තිබූ අවහිරතා මේ වන විට ඉවත් වී තිබෙනවා.

එම මාර්ගය මතට ස්ථාන දෙකකින් කඩා වැටී තිබූ පස් කඳු ඉවත් කර මේ වන විට රථවාහන ධාවනය සාමාන්‍ය පරිදි සිදු කෙරෙන බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.