පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණය මගින් නිකුත් කර තිබූ වරෙන්තුව ආපසු කැඳවා පෙර ඇප මත නිදහස් කිරීමට අද එම අධිකරණය නියෝග කළා.

ඒ, මාලදිවයිනේ සංචාරය නිමා කරමින් දිවයිනට පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා මෝසමක් මාර්ගයෙන් හම්බන්තොට මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් වීමෙන් අනතුරුවයි.

පසුව අධිකරණයෙන් පිටතට පැමිණි නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට මෙලෙස පිළිතුරු ලබා දුන්නා.

මාලදිවයින සංචාරය නිමා කර පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද පෙරවරුවේ මෙරටට පැමිණියා.

කෙසේවෙතත් හම්බන්තොට අධිකරණය මගින් ඔහුට වරෙන්තුවක් නිකුත් කර තිබුණ ද අත්අඩංගුවට ගැනීමකින් තොරව ඔහු ගුවන් තොටුපොළෙන් පිටව ගිය බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

අද උදෑසන 11.30ට පමණ මාලදිවයින, මාලේ නුවර සිට නාමල් රාජපක්ෂ මහතා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

නාමල් රාජපක්ෂ මහතාගේ පැමිණීම අපේක්ෂාවෙන් නීතීඥවරුන් කිහිප දෙනෙකු සහ ඔහුගේ ආධාරකරුවන් කිහිප දෙනෙකු ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටි බවද නෙත් නිවුස් වාර්තාකරු පැවසුවා.

කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීමට අධිකරණයෙන් නියෝගයක් ලැබී නොතිබුණු අතර, පොලීසිය විසින් ද අත්අඩංගුවට ගැනීමක් සිදු නොකර තිබුණි.

ඒ අනුව නාමල් රාජපක්ෂ මහතා අද දහවල් 12.30ට පමණ කටුනායක ගුවන් තොටුපොළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය ඔස්සේ ගුවන් තොටුපොළෙන් පිටව ගිය බවයි නෙත් නිවුස් වාර්තාකරු වැඩිදුරටත් පැවසුවේ.