සිංහල හා දෙමළ අලුත් අවුරුදු උදාවීමට තවත් ඇත්තේ දින දෙකක පමණ කාලයක්.

සති අන්තයත් සමග යෙදී ඇති අලුත් අවුරුදු නිවාඩුව සඳහා ගම් බිම් බලා යාමට සිකුරාදා දිනයක් වූ ඊයේ දින රාත්‍රියේ විශාල ජනතාවක් පිටකොටුව මධ්‍යම බස් නැවතුම් පොළට පැමිණ තිබුණා.

ගම් බිම් බලා යන ජනතාව සඳහා විශේෂ දුම්රිය වාර කිහිපයක්ද ඊයේ ධාවනය කළා.

මේ අතර එළඹෙන සිංහල සහ දෙමළ අලුත් අවුරුදු උත්සව සමය වෙනුවෙන් දිවයින පුරා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට ආරක්ෂක අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.

ජනතාවට සුරක්ෂිතව සහ සාමකාමීව අලුත් අවුරුදු සැමරීමට අවශ්‍ය පසුබිම සකස් කිරීම සඳහා ආරක්ෂක ලේකම් සම්පත් තුයියකොන්තා මහතා ලබාදුන් උපදෙස් මත මෙම වැඩපිළිවෙළ දියත් කර ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සඳහන් කරන්නේ.

ත්‍රිවිධ හමුදාව, ශ්‍රී ලංකා පොලිසිය සහ බුද්ධි අංශ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් මෙම ආරක්ෂක ජාලය ක්‍රියාත්මක බවයි එහි දැක්වෙන්නේ.

උත්සව සමයේ පැවැත්වෙන සංගීත සංදර්ශන, ප්‍රජා උත්සව සහ ආගමික වැඩසටහන් කෙරෙහි මෙහිදී විශේෂ අවධානයක් යොමු කෙරෙනු ඇති.

මෙම කටයුතු සම්බන්ධීකරණය සඳහා කොළඹ පොලිස් මූලස්ථානය කේන්ද්‍ර කරගනිමින් විශේෂ ඒකාබද්ධ මෙහෙයුම් මැදිරියක් ස්ථාපිත කර ඇති අතර, ත්‍රිවිධ හමුදා නිලධාරීන් ද ඊට අනුයුක්ත කර ඇති බවයි එම අමාත්‍යංශය පවසන්නේ.

එමඟින් තොරතුරු හුවමාරුව සහ හදිසි තත්ත්වයන්හිදී කඩිනම් ප්‍රතිචාර දැක්වීම කාර්යක්ෂමව සිදු කිරීමට අපේක්ෂිතයි.

හදිසි දැනුම්දීම් සඳහා 011-2013051 / 011-2027148 / 011-2027149 / 011-2430912 යන දුරකතන අංක හරහා ජනතාවට මෙහෙයුම් මැදිරිය සම්බන්ධ කරගත හැකියි.