විදේශයන්හි වෙසෙන මිලියන 35 ක් වන ඉන්දීය ප්‍රජාව සඳහා හඳුන්වා දුන් විශේෂ විදේශ විනිමය තැන්පතු ක්‍රමය හරහා ඇමෙරිකානු ඩොලර් බිලියන 65 කට අධික මුදලක් රැස් කර ගැනීමට ඉන්දියාව සමත්ව ඇති බව එරට මහ බැංකුව සෙනසුරාදා නිකුත් කළ නවතම වාර්තා පෙන්වා දෙයි.
ඉන්දියානු මහ බැංකුව සඳහන් කළේ අගෝස්තු 21 වන දින වන විට, නේවාසික නොවන විදේශ විනිමය (FCNR-B) තැන්පතු හරහා රැස් කරගෙන ඇති සමස්ත මුදල ඩොලර් බිලියන 65.397 ක් වන බවයි.
විදේශීය විදේශ විනිමය ණය සහ බාහිර වාණිජ ණය ගැනීමේ ක්‍රමවේදයන් ඔස්සේ ලැබුණු විදේශ විනිමය ද ඇතුළත් කළ විට මෙම සමස්ත අගය ඩොලර් බිලියන 72.85 දක්වා ඉහළ යන බව මහ බැංකුව වැඩිදුරටත් පැවසීය.
ඩොලර් ආකර්ෂණය කර ගැනීම සඳහා මෑතකදී හඳුන්වා දුන් පියවරයන් හේතුවෙන් අවම වශයෙන් ඩොලර් බිලියන 80 ක විදේශ විනිමය ප්‍රවාහයක් රට තුළට ගලා එනු ඇතැයි බලාපොරොත්තු වන බව ඉන්දීය මහ බැංකුවේ අධිපති සංජේ මල්හෝත්‍රා මේ සතිය මුලදී ප්‍රකාශ කළේය.




