පාකිස්ථානයේ සින්ද් පළාතෙන් වාර්තාවන එම්පොක්ස් (mpox) ආසාදිතයින්ගේ සංඛ්‍යාවේ යළිත් වර්ධනයක් පෙන්නුම් කරන බව එරට ජනමාධ්‍ය වාර්තා කරයි.
එම වාර්තා අනුව ඉකුත් අඟහරුවාදා දිනයේදී සින්ද් පළාතෙන් තවත් එම්පොක්ස් (mpox) රෝගීන් දෙදෙනෙකු වාර්තා වී ඇති අතර, ඉන් එක් අයෙකු කරච්චි නුවරින් ද අනෙක් පුද්ගලයා කයිරුපූර් ප්‍රදේශයෙන් ද හඳුනාගෙන ඇත.
ඒ අනුව මේ වසරේ මේ දක්වා එම පළාතෙන් වාර්තා වූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 25 දක්වා ඉහළ ගොස් ඇති අතර මරණ සංඛ්‍යාව නවයකි.
පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයකට අනුව, මේ වසරේ මේ දක්වා පළාතෙන් එම්පොක්ස් (mpox) වැළඳී ඇතැයි සැක කෙරෙන රෝගීන් 122 දෙනෙකු වාර්තා වී ඇත.
ඔවුන්ගෙන් රෝගීන් 25 දෙනෙකුට රෝගය වැළඳී ඇති බව තහවුරු වී ඇති අතර රෝගීන් නව දෙනෙකු මියගොස් තිබේ.
නිලධාරීන් පැවසුවේ දැනට පළාතේ එම්පොක්ස් රෝගය වැඩිපුරම ව්‍යාප්ත වී ඇති ප්‍රදේශය කයිරුපූර් බවයි.
එහි තහවුරු වූ රෝගීන් 18 දෙනෙකු වාර්තා වී ඇති අතර, කරච්චි නුවරින් රෝගීන් හතර දෙනෙකු සහ සුක්කූර් ප්‍රදේශයෙන් රෝගීන් තිදෙනෙකු වාර්තා වී ඇත.




