චීනයේ ජනගහනය අඛණ්ඩව සිව්වන වසරටත් පහළ යමින් පවතින පසුබිමක, පසුගිය වසරේදී එරට පෙරපාසල් සහ ප්‍රාථමික පාසල් 30,000ක් පමණ වසා දමා ඇති බව වාර්තා වේ.
ආර්ථික විශ්ලේෂකයන් පවසන්නේ කොවිඩ්-19 වසංගතයෙන් පසුව උපත් අනුපාතය සීඝ්රයෙන් පහත වැටීමේ අහිතකර බලපෑම දැන් චීනයේ අධ්‍යාපන ක්ෂේත්රයට දැඩි ලෙස දැනෙන්නට පටන් ගෙන ඇති බවයි.
චීන ආර්ථික මාධ්‍ය ආයතනයක් වන 'ජැසින්ට්' (Jacint) වාර්තාවලට අනුව, පසුගිය වසරේදී පමණක් චීනය පුරා පෙරපාසල් 21,400ක් වසා දමා ඇත.
එය දළ වශයෙන් දිනකට පෙරපාසල් 59ක් බැගින් වැසී යාමකි.
එමෙන්ම පෙරපාසල් සඳහා ඇතුළත් වූ ළමුන් සංඛ්‍යාව ද පෙර වසරට සාපේක්ෂව 10%කින් පමණ පහත වැටී 3,225,200ක් දක්වා අඩු වී තිබේ.
මෙම පසුබෑම ප්‍රාථමික පාසල් ක්ෂේත්රය තුළ ද පැහැදිලිවම දැකගත හැකිය.
පසුගිය වසරේදී චීනයේ ප්‍රාථමික පාසල් සංඛ්‍යාව 8,000කින් පමණ අඩු වී ඇති අතර, දැනට පවතින සමස්ත පාසල් සංඛ්‍යාව 128,300කි. මෙය පසුගිය වසර පහක කාලය තුළ වාර්තා වූ විශාලතම පාසල් සංඛ්‍යාව අඩු වීමයි. එමෙන්ම පසුගිය වසරේ ප්‍රාථමික පාසල්වලට අලුතින් ඇතුළත් වූ සිසුන් සංඛ්‍යාව ද 9.6%කින් පහළ ගොස් 14,617,400ක් දක්වා අඩු වී ඇත.
මීට පෙර 2016 වසරේදී චීන රජය විසින් පනවා තිබූ උපත් සීමාවන් ලිහිල් කරමින් හඳුන්වා දුන් "දෙදරු ප්‍රතිපත්තිය" හේතුවෙන් උපත් සංඛ්‍යාව තාවකාලිකව ඉහළ ගිය අතර, එහි ප්‍රතිඵලයක් ලෙස 2023 වසරේදී ප්‍රාථමික පාසල්වලට ඇතුළත් වූ සිසුන් සංඛ්‍යාව මිලියන 18.77ක් දක්වා කැපී පෙනෙන ලෙස ඉහළ ගියේය.
කෙසේ වෙතත්, දරුවන් ඇති දැඩි කිරීමේ අධික පිරිවැය සහ කොවිඩ්-19 වසංගතය හේතුවෙන් විවාහයන් ප්‍රමාද වීම නිසා 2017 වසරේ සිට උපත් සංඛ්‍යාව නැවතත් ශීඝ්‍රයෙන් පහත වැටුණි. මේ හේතුවෙන් ප්‍රාථමික පාසල් මට්ටමට එළඹෙන ළමුන්ගේ ගහනය මේ වන විට සැලකිය යුතු ලෙස අඩු වී තිබේ.




