ඉන්දියාවේ න්‍යෂ්ටික බලශක්ති ක්ෂේත්රයේ ඉදිරි ගමන ශක්තිමත් කරමින්, උස්බෙකිස්තානය සමඟ දීර්ඝකාලීන යුරේනියම් සැපයුම් ගිවිසුමකට එළඹීමට පියවර ගෙන තිබේ.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ උස්බෙකිස්තාන ජනාධිපති ෂව්කාට් මිර්සියෝයෙව් අතර පැවැති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව අගමැතිවරයා විසින් මෙම වැදගත් තීරණය ප්‍රකාශයට පත් කරන ලදී.
ඉන්දියාවේ අනාගත න්‍යෂ්ටික බලශක්ති ව්‍යාපෘති සාර්ථකව පවත්වාගෙන යාම සඳහා මෙම යුරේනියම් සැපයුම් ගිවිසුම ඉතා තීරණාත්මක සාධකයක් වනු ඇතැයි පැවසූ අගමැති මෝදි, දෙරට අතර පැවැති ද්විපාර්ශ්වික සාකච්ඡාවල විශාලතම ජයග්‍රහණය මෙය බව සඳහන් කළේය.
මෙම හමුවේදී බලශක්ති ක්ෂේත්රයට අමතරව දෙරට අතර සබඳතා තවදුරටත් වර්ධනය කරගැනීම සඳහා සහෝදර නගර සහ සහෝදර ප්‍රාන්ත ගිවිසුම් තුනක් අවසන් කිරීමටද අවධානය යොමු විය.
මෙම ගිවිසුම් කඩදාසිවලට පමණක් සීමා නොවී, ප්‍රායෝගිකව ප්‍රතිඵල ලබාගත හැකි පැහැදිලි මාර්ග සිතියමක් සකස් කිරීමේ අවශ්‍යතාව අගමැති මෝදි මෙහිදී අවධාරණය කළේය.
එමෙන්ම නාගරික සංවර්ධන ක්ෂේත්රය පිළිබඳවද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි. උස්බෙකිස්තානය දැනට නිර්මාණය කරමින් පවතින New Tashkent නව නගර ව්‍යාපෘතිය සඳහා ආදර්ශයක් ලෙස ඉන්දියාවේ ගුජරාට් හි පිහිටි GIFT City ව්‍යාපෘතිය අධ්‍යයනය කරන ලෙස ඉන්දීය අගමැතිවරයා යෝජනා කළේය. එහි තාක්ෂණය, නාගරික සැලසුම්කරණය සහ ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේද නිරීක්ෂණය කිරීම සඳහා උස්බෙකිස්තාන නියෝජිත පිරිසකට ඉන්දියාවට පැමිණෙන ලෙසද අගමැති මෝදි මෙහිදී ඇරයුම් කර සිටියේය.



