මෙවර පන්දුවාර විස්සයි විස්ස ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම තරග වදින පළමු තරගය අද රාත්‍රී 8 ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.
ඒ, සත්කාරක එක්සත් අරාබි එමීර් කාන්තා කණ්ඩායම සමගයි.
තරගය පැවැත්වෙන්නේ ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්රීඩාංගණයේදීයි.
චමරි අතපත්තුගේ නායකත්වයෙන් තරග බිමට පිවිසෙන ශ්‍රී ලංකා සංචිතයට හර්ෂිතා සමරවික්‍රම, විෂ්මි ගුණරත්න, කවිෂා දිල්හාරි සහ නිලක්ෂිකා සිල්වා ඇතුළු ප්‍රබල ක්‍රීඩිකාවන් ඇතුළත්ව සිටිනවා.
එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම මෙහෙයවනු ලබන්නේ ඒෂා ඕෂා විසින්.
වත්මන් ආසියානු කුසලාන ශූරියන් වන ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම මෙවර තරගාවලිය ද ජයග්රහණයෙන් ආරම්භ කිරීමේ අරමුණින් අද තරගයට අවතීර්ණ වීමට නියමිතයි.
මෙම තරගාවලියේ පළමු තරගයෙන් ජය ගැනීමට තායිලන්ත කණ්ඩායම සමත් ඊයේ වුණා.
ඒ, හොංකොං කණ්ඩායමය සමග පැවති තරගය ලකුණු 6 කින් ජය ගනිමින්.
තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් තායිලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේදී කඩුළු 9ක් දැවි ලකුණු 120ක් රැස් කළා.
එහෙත් හොංකොං කණ්ඩායමට නියමිත පන්දුවාර විස්සේදි කඩුළු 7 ක් දැවී රැස් කිරීමට හැකි වූයේ ලකුණු 114ක් පමණයි.
මෙවර තරගාවලියට කණ්ඩායම් 8 ක් ඇතුළත්.
A කාණ්ඩය යටතේ ඉන්දියාව, පකිස්තානය, තායිලන්තය සහ හොංකොං යන කණ්ඩායම් තරග වදිනවා.
ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ඉන්දුනීසියාව යන කණ්ඩායම් තරග වදින්නේ B කාණ්ඩය යටතේයි.
ඉන්දුනීසියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම මෙවර ආසියානු කුසලාන තරගාවලිය සඳහා සුදුසුකම් ලැබූ පළමු අවස්ථාව මෙය වනවා.




