චීනය මත පවතින අධික යැපීම අවම කිරීම සඳහා යුරෝපා සංගමය විසින් නව වෙළඳ මෙවලම් හා උපායමාර්ග සකස් කළ යුතු බව එම සංගමයේ වෙළඳ කොමසාරිස් මාරොෂ් ෂෙෆ්චොවිච් ප්‍රකාශ කරයි. ඔහු මේ බව කියා සිටියේ බ්‍රසල්ස් නුවර පැවැති වාර්ෂික ‘ආර්ථික ආරක්ෂණ සංසදය’ අමතමිනි.

"අපි දැනට පවතින වෙළඳ මෙවලම් වඩාත් දැඩි ලෙස භාවිත කරමින් සිටිනවා. නමුත් එහි යම් අඩුවක් පවතින තැන්වලදී නව ක්‍රමවේදයන් සකස් කිරීමට ද පියවර ගනිමින් සිටිනවා. වෙළඳාම විවිධාංගීකරණය කිරීම සඳහා දැන් අපට සුවිශේෂී වූ නව යාන්ත්‍රණයක් අවශ්‍යයි," යනුවෙන් ඔහු එහිදී පැවසීය.

චීනය සමඟ පවතින වෙළඳ ගනුදෙනුවලදී යුරෝපා සංගමය දිනකට යුරෝ බිලියනයක වෙළඳ හිඟයකට මුහුණ දෙන බව පෙන්වා දුන් කොමසාරිස්වරයා, මෙම තත්ත්වය තවදුරටත් පවත්වාගෙන යා නොහැකි බව ද අවධාරණය කළේය.

සිවිල් මෙන්ම මිලිටරි තාක්ෂණයන් සඳහා බහුලව භාවිත වන 'දුර්ලභ පෘථිවි ඛනිජ' සැපයුම චීනය විසින් 2025 වසරේදී සීමා කිරීමත් සමඟ යුරෝපය දැඩි බලපෑමකට ලක්විය.

ගෝලීය වශයෙන් මෙම දුර්ලභ ඛනිජ පිරිපහදු කිරීමෙන් 90%ක් සහ කැණීම්වලින් 60%කම පාලනය පවතින්නේ බීජිං පාලනය සතුවය.

මීට අමතරව, නෙදර්ලන්තයේ 'නෙක්ස්පීරියා' අර්ධ සන්නායක සමාගම වෙත චීනය විසින් අපනයන සීමාවන් පැනවීමත් සමඟ දෙපාර්ශවය අතර නොසන්සුන්තාව තවදුරටත් උග්‍ර විය. මෝටර් රථ නිෂ්පාදන ක්ෂේත්‍රයට අත්‍යවශ්‍ය වන මෙම චිප්ස් බහුලවම එකලස් කරනු ලබන්නේ චීනය තුළය.

ආර්ථික ආරක්ෂාව යනු හවුල් වගකීමක් බව පෙන්වා දුන් කොමසාරිස්වරයා, යුරෝපා සංගමය කර්මාන්තකරුවන්ට සහය දෙන අතරම, කර්මාන්ත ක්ෂේත්‍රය ද සිය වගකීම ඉටුකළ යුතු බව ප්‍රකාශ කළේය. ඒ අනුව ව්‍යාපාරික ආකෘති සකස් කිරීමේදී භූ-දේශපාලනික අවදානම් ප්‍රධාන සාධකයක් ලෙස සලකා, උපායමාර්ගිකව සැපයුම් ජාල විවිධාංගීකරණය කිරීමට ව්‍යාපාරිකයන් කටයුතු කළ යුතු බව ඔහු සඳහන් කළේය.