ශ්‍රි ලංකාවේ ප්‍රධාන රාජ්‍ය බැංකු ත්‍රිත්වයම ඉතිහාසයේ සිය ඉහළම ලාභාංශ වාර්තා කර තිබෙනවා.
ඒ 2025 වර්ෂයේදීයි.
මීට අදාල වාර්ෂික වාර්තා එම බැංකු ප්‍රධානීන් විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ඊයේ පිළිගන්වනු ලැබුවා.
2025දී ලංකා බැංකුව බදු පෙර ලාභය රුපියල් බිලියන 120යි දශම 8ක්.
එය ලංකා බැංකුවේ වසර 87ක ඉතිහාසයේ වැඩිම ලාභය ද වනවා.
මහජන බැංකුවද සිය ඉතිහාසයේ වැඩිම ලාභය උපයා ඇත්තේ 2025 දීයි.
2025 දී මහජන බැංකුවේ බදු පෙර ලාභය රුපියල් බිලියන 64යි දශම 4ක් වනවා.
ජාතික ඉතිරි කිරීමේ 2025 උපයා ඇති බදු පෙර ලාභය රුපියල් බිලියන 59ක්.
එය ජාතික ඉතිරි කිරීමේ බැංකුව වසරකදී උපයා ගත් වැඩිම ලාභය ද වනවා.
රජයේ ක්‍රමවත් මූල්‍ය ප්‍රතිපත්තීන් සහ ඉහළ මූල්‍ය විනය හේතුවෙන් මෙම වාර්තාගත ලාභය උපයා ගැනීමට හැකි වූ බවයි බැංකු ප්‍රධානීන් කියා සිටියේ.
අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන් සහ බැංකු ක්ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ද මෙම අවස්ථාවට එක්ව සිටියා.
මේ අතර මෙම වසරේ පළමු කාර්තුව තුල රුපියල් බිලියන 70යි දශම හතරක වාර්තාගත ආදායමක් උපයා ගැනීමට සුරාබදු දෙපාර්තමේන්තුව සමත්වී තිබෙනවා.
පළමු කාර්තුව සඳහා එම දෙපාර්තමේන්තුවට ලබාදී තිබූ ඉලක්කය රුපියල් බිලියන 61යි දශම 9යි 5ක්.
ඒ අනුව මෙම වසරේ පළමු කාර්තුව තුල සුරාබදු දෙපාර්තමේන්තුව උපයා ඇත් ආදායම ඉලක්කගත ආදායමට සාපේක්ෂව සියයට 113යි දශම 6ක අගයක් බවයි සුරා බදු කොමසාරිස් ජනරාල් එම්. බී. එන්. ඒ. ප්‍රේමරත්න මහතා පැවසුවේ.
මෙම වසරේ පළමු කාර්තුවේදී උපයා ඇති සුරාබදු ආදායම පසුගිය වසරේ පළමු කාර්තුවට සාපේක්ෂව සියයට 114යි දශම 8ක වර්ධනයක්.
මෙලෙස සුරා බදු අදායම වැඩිවීමට නව රජයේ මග පෙන්වීම සහ සියලු ශ්‍රේණිවල සුරාබදු නිලධාරීන්ගේ පූර්ණ කැපවීම හේතු වී ඇති බවයි සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. බී. එන්. ඒ. ප්‍රේමරත්න මහතා පැවසුවේ.
මත්පැන් නිෂ්පාදනාගාර සහ ස්කාගාර නිරන්තරයෙන් දැඩිව අධීක්ෂණය කිරීම, මත්පැන් බෝතල් මත ආරක්ෂිත ස්ටිකර් යෙදීම, නීති විරෝධී ලෙස නිපදවන මත්පැන් සම්බන්ධ විමර්ශණ තීව්‍ර කර පුළුල් කිරීම, මත්පැන් නිෂ්පාදනාගාර සහ බලපත්‍ර ස්ථාන නිරන්තර පරීක්ෂාවට ලක් කිරීම හා නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීම වැනි උපාය මාර්ග සුරාබදු ආදායම සුරක්ෂිත කිරීමට ඉවහල් වී ඇති බවද සුරා බදු කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළා.




