ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් පූජ්‍ය බලන්ගොඩ කස්සප හිමියන් සහ ත්‍රිකුණාමලයේ කල්‍යාණවංශ තිස්ස හිමියන් රිමාන්ඩ් භාරයට පත් කරමින් ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කළ නියෝගය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා  ගොනු කෙරුණු පෙත්සම් නිෂ්ප්‍රභා කිරීමට අභියාචනාධිකරණය නියම කළා.
අභියාචනාදීකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කළා.
වෙරල සංරක්ෂණ පනතේ විධිවිධාන උල්ලංඝනය කළ බවට චෝදනා කරමින් ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණය විසින් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය බළන්ගොඩ කස්සප හිමියන් සහ ත්‍රිකුණාමලයේ කල්‍යාණවංශ තිස්ස හිමියන් විසින් මෙම රිට් පෙත්සම් ඉදිරිපත් කර තිබුණා.
පෙත්සංකාර හිමිවරු කියා සිටියේ වෙරල සංරක්ෂණ පනත යටතේ තමන්ව රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ප්‍රමාණවත් සාක්ෂි අධිකරණය හමුවේ නොමැති බවයි.
එසේ තිබියදී තමන්ව රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණය දුන් තීරණය නීතියට පටහැනි බවත් ඒ අනුව එම තීරණය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙසත් එම පෙත්සම් වලින් ඉල්ලා තිබුණා.