ඉරානය සමඟ පවතින යුද්ධය ඉතා ඉක්මනින් අවසන් වනු ඇතැයි ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.

කෙසේ වෙතත්, යුද්ධය අවසන් කිරීම සඳහා ගෙන ඇති නිශ්චිත පියවර හෝ කාලසීමාව පිළිබඳව ඔහු කිසිදු විස්තරයක් ඉදිරිපත් කර නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඉරානයට න්‍යෂ්ටික අවි ලබා ගැනීමට ඉඩ නොදෙන බවත්, යුද්ධය අවසන් වූ පසු ඉන්ධන මිල සැලකිය යුතු ලෙස පහළ යනු ඇති බවත් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙනවා.

මේ අතර, ඉරානය විසින් ඉදිරිපත් කළ සටන් විරාම යෝජනාවක් ට්‍රම්ප් පසුගිය සති අන්තයේ ප්‍රතික්ෂේප කළා.

හෝර්මුස් සමුද්‍ර සන්ධිය සතියක් ඇතුළත විවෘත කිරීම ඇතුළු කොන්දේසි එම යෝජනාවට ඇතුළත් වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

කෙසේ වෙතත්, කටාර් ඇතුළු මැදිහත්කරුවන් හරහා ඇමරිකාව සහ ඉරානය අතර සාකච්ඡා තවදුරටත් පැවැත්වෙමින් තිබෙනවා.

ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි පවසා ඇත්තේ සිය රජය ඉදිරිපත් කළ නව සටන් විරාම යෝජනාව සම්බන්ධයෙන් ඇමරිකාවේ විධිමත් ප්‍රතිචාරයක් බලාපොරොත්තුවෙන් සිටින බවයි.