ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් දකුණු මුහුදේ දී සිය භාරයට ගනු ලැබූ බහුදින ධීවර යාත්‍රාවේ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 53ක් තිබී සොයාගත් බව නාවික හමුදාව පවසනවා.
මත්ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කරන බවට වූ සැකයක් මත මෙම ධීවර යාත්‍රාව නාවික හමුදා භාරයට ගෙන අද පෙරවරුවේ ගාල්ල ධීවර වරායට රැගෙන එනු ලැබුවා. එහිදී සිදුකල සොයාබැලීමේ දී මෙම මත්ද්‍රව්‍ය තොගය සොයාගැනීමට හැකි වුණා.
මේ අතර, ඉකුත්දා දකුණු මුහුදු තීරයේ පාවෙමින් තිබීයදී නාවික හමුදා භාරයට ගත්තා ලද අයිස්, හෙරොයින් සහ හෂිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 839යි ග්‍රෑම් 254ක් මෙරටට ගෙන්වූ බවට සැකපිට අත්අඩංගුවට ගත් සැකකරුවන් පස් දෙනෙකු රඳවාගෙන ප්‍රශ්න කරන බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නා.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා වෙත වාර්තාවක් ඉදිරිපත් කරමින් පොලිස් නිලධාරීන් සඳහන් කළේ එම සැකකරුවන් ලබන 22 වනදා දක්වා රඳවාගෙන ප්‍රශ්න කරන බවයි.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් අත්අඩංගුවට ගන්නා ලද තරින්ද මදුෂාන්, රසික කුමාර, සංජීව දිල්ෂාන්, උදුල් පේමරත්න හා සුරේෂ් එරංග යන සැකකාර ධීවරයින් මෙලෙස රඳවා ප්‍රශ්න කරන බවත් විමර්ශන නිලධාරීන් සඳහන් කළා.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා මෙම විමර්ශනවල ප්‍රගතිය ලබන විසි දෙවෙනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයට නියම කළා.