ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්රධාන සැකකාරියක වන ඉෂාරා සෙව්වන්දිගේ මව බන්ධනාගාරයේ දී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි ඇය හෘදයාබාධයක් හේතුවෙන් පෙරේදා මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.
ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් ඉෂාරා සෙව්වන්දිගේ මව සහ සහෝදරයා පසුගිය පෙබරවාරි මස 24 වනදා අත්අඩංගුවට ගනු ලැබුවා.
අනතුරුව ඔවුන්ව රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි අධිකරණය නියෝග කළේ.
බන්ධනාගාර නිලධාරීන් පැවසුවේ බන්ධනාගාරය තුළදී මරණයට පත්වූ පුද්ගලයෙකුගේ අවසන් කටයුතු පවතින නීති ක්රමවේදයට අනුව දින කිහිපයකින් සිදු කළ හැකි බවත් මරණයට පත්වූ පුද්ගලයාගේ පවුලේ ඥාතීන් දේහය භාර ගැනීමට ඉදිරිපත් වන්නේ නම් අධිකරණ නියෝගයකින් දේහය ලබා දිය හැකි බවයි.
ඒ අනුව ජීවිතක්ෂයට පත් ඉෂාරා සෙව්වන්දිගේ මවගේ දේහයද භාර ගැනීමට පවුලේ ඥාතීන් ඉදිරිපත් වන්නේ නම් දේහය අවසන් කටයුතු සඳහා භාර දිය හැකි වනවා.
මේ වන විට ඇයගේ මෘත දේහය රෝහලට යොමු කර ඇති අතර ඒ සම්බන්ධ ඉදිරි නීතිමය කටයුතු හෙට දිනයේ සිදු කිරීමට නියමිත බවයි බන්ධනාගාර ආරංචි පැවසුවේ.
මේ අතර ගණේමුල්ල – අමුණුගොඩ පැරකුම් මාවතේ පිහිටි නිවසකට වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.
ඉකුත් 11 වනදා රාත්රි කාලයේදී මෙම වෙඩිතැබීම සිදුව ඇති අතර වෙඩිතැබීමෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නැහැ.
යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් එම වෙඩිතැබීම සිදුකර ඇති බවයි පොලිසිය සදහන් කළේ. අදාළ නිවසේ පිටුපස ගේට්ටුව අසල තිබී හිස් උණ්ඩ කොපු කිහිපයක් හමුවීමත් සමගයි මේ පිළිබඳ අනාවරණය වී ඇත්තේ.