පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාවට එරෙහි තරගයට සහභාගී වන ලෙස පාකිස්තාන රජය එරට ක්‍රිකට් ආයතනයට දැනුම් දී තිබෙනවා.
ඒ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාකිස්තාන රජයෙන් කළ විශේෂ ඉල්ලීමකට අනුවයි. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ පාකිස්තාන අගමැතිවරයා අතර සිදුවූ දුරකතන සංවාදයක් අතරතුර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම ඉල්ලීම සිදුකර ඇති බවයි වාර්තා වුණේ.
ශ්‍රී ලංකාව ත්‍රස්තවාදයෙන් දරුණුතම ලෙස පීඩා විඳිමින් සිටි අවස්තාවේදී පවා පාකිස්තානය ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට සහාය දුන් ආකාරය ද ජනාධිපතිවරයා මෙහිදී පාකිස්තාන අග්‍රාමාත්‍යවරයාට සිහිපත් කර තිබෙනවා.
ඊට ප්‍රතිචාර ලෙසින් පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා ජනාධිපතිවරයා වෙත පවසා ඇත්තේ දෙරට අතර පවතින දීර්ඝකාලීන මිත්‍රත්වය සලකා, ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ඉන්දියාවට එරෙහි තරගයට පකිස්ථාන කණ්ඩායම සහභාගී වීමට අනුමැතිය ලබා දෙන බවයි.
කණ්ඩායම් දෙක අතර පැවැත්වීමට තිබූ එම තරගය වර්ජනය කිරීමට පකිස්තානය මීට පෙර තීරණය කර තිබුණා. කෙසේවෙතත් පෙබරවාරි 15 වැනිදා කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී සැලසුම් කර තිබූ තරගයට සහභාගි වන බවයි පකිස්තානය ප්‍රකාශ කර ඇත්තේ.
පාකිස්තානය සිය තීරණය වෙනස් කිරීම සම්බන්ධයෙන් සිය X ගිණුමේ සටහනක් තබමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කර ඇත්තේ විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේදී උනන්දුවෙන් බලා සිටි ඉන්දියාව සහ පාකිස්තානය අතර තරගය සැලසුම් කර ඇති පරිදී පැවැත්වීමට එකඟත්වය පළ කිරීම සම්බන්ධව තමන් පාකිස්තාන අග්‍රාමාත්‍යවරයාට ස්තූතිවන්ත වන බවයි.




