හොර්මුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන නෞකා සඳහා ආරක්ෂක සහ පරිසර ආරක්ෂණ ගාස්තු අයකිරීමට ඉරානය තීරණය කර තිබෙනවා.

ඉරානයේ උසස් ජාතික ආරක්ෂක මණ්ඩලය විසින් ඒ බව ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.

කලාපීය සාමය සහ ස්ථාවරත්වය තහවුරු වන තෙක් මෙම උපායමාර්ගික ජල මාර්ගයේ පාලනය සහ අධීක්ෂණය දැඩි කිරීමට ඉරානය තීරණය කර තිබෙනවා.

මේ අතර හෝමූස් සමුද්‍ර සන්ධියේදී ඉන්දීය ධජය සහිත වෙළෙඳ නෞකා දෙකකට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඉන්දියාව ඉරාන රජය වෙත සිය දැඩි කනස්සල්ල පළ කර තිබෙනවා.

එම සිද්ධිය සම්බන්ධයෙන් කරුණු විමසීම සදහා නවදිල්ලියේ සිටින ඉරාන තානාපතිවරයාව ඊයේ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය වෙත කැඳවා තිබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එහිදී ඉන්දීය විදේශ ලේකම්වරයා සහ තානාපතිවරයා අතර විශේෂ හමුවක් පවත්වා තිබෙනවා.

වෙළෙඳ නෞකාවල සහ නාවිකයින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඉන්දියාව දක්වන ප්‍රමුඛතාවය මෙහිදී විදේශ ලේකම්වරයා අවධාරණය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඉන්දියාව බලා පැමිණෙන නෞකාවල ආරක්ෂිත ගමනාගමනය සඳහා මීට පෙර ඉරානය ලබා දුන් සහයෝගය ඔහු මෙහිදී සිහිපත් කර තිබෙනවා.

වෙළෙඳ නෞකාවලට වෙඩි තැබීම බරපතළ තත්ත්වයක් බව පෙන්වා දුන් විදේශ ලේකම්වරයා, මේ පිළිබඳව ඉන්දීය රජයේ ස්ථාවරය වහාම ඉරාන බලධාරීන්ට දැනුම් දෙන ලෙස තානාපතිවරයාගෙන් ඉල්ලා ඇති බව සදහන්.

ඉන්දියාව බලා එන නෞකාවලට හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කිරීමට අවශ්‍ය පහසුකම් සලසා දීමේ ක්‍රියාවලිය හැකි ඉක්මනින් යළි ආරම්භ කරන ලෙසද ඉන්දියාව ඉරානයෙන් ඉල්ලා තිබෙනවා.

ඉන්දීය රජයේ මෙම කරුණු පිළිබඳව තම රජයේ බලධාරීන් දැනුවත් කිරීමට කටයුතු කරන බවට ඉරාන තානාපතිවරයා මෙහිදී එකඟතාව පළ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ නාවික හමුදාව විසින් ඉන්දීය නෞකා දෙකක් හෝමූස් සමුද්‍ර සන්ධියෙන් බලහත්කාරයෙන් ආපසු හරවා යවා ඇති බවයි වාර්තා වුණේ.

ඉරාක බොරතෙල් බැරල් මිලියන 2ක් රැගත් ඉන්දීය ධජය සහිත විශාල බොරතෙල් ප්‍රවාහන නෞකාවක් ඒ අතර අයත් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එහිදී වෙඩි තැබීම් ද සිදුව ඇති බව වාර්තා වුණා.