සංවිධානාත්මක අපරාධ කල්ලි නායක මන්දිනු පද්මසිරි පෙරේරා හෙවත් කෙහෙල්බද්දර පද්මෙගේ වෙඩික්කරු ලෙස කටයුතු කළ බවට පැවසෙන බෝඹුවල දේවගේ සුරංංග සංජීව කරුණාරත්න හෙවත් කණුවන මාටියා කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මැලේසියාවේ රැදි සිටියදී එරට ආරක්‍ෂක අංශ මගින් ඔහු පසුගියදා අත්අඩංගුවට ගෙන තිබුණා.

ඒ අනුව එරටින් පිටුවහල් කළ ඔහු ඊයේ රාත්‍රි කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොල වෙත රැගෙන ආ අවස්ථාවේ අත්අඩංගුවට ගනු ලැබුවේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින්.

ඉන් අනතුරුව සැකකරු වැඩිදුර විමර්ශන සදහා කොළඹ උතුර අපරාධ කොට්ඨාශය වෙත දැඩි රැකවල් මධ්‍යයේ රැගෙන ගිය බවයි නෙත් නිවුස් කටුනායක ගුවන් තොටුපොල වාර්තාකරු පැවසුවේ.

කොටුගොඩ, යාගොඩමුල්ල ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි වියේ පසුවන මොහුට එරෙහිව ජාත්‍යන්තර රතු නිවේදනයක් ද නිකුත් කර තිබුණා.

2022 වසරේ ජූලි මස 22 වන දින ගම්පහ අධිකරණ පරිශ්‍රය තුළ දී පස්පොඩ්ඩා නැමති සංවිධානාත්මක අපරාධකරු සහ ඔහු සමග සිටි තවත් අයෙකුට වෙඩි තබා ඝාතනය කර එහි රැදී සිටි තවත් පිරිසකට ද තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් කණුවන මාටියා නමැත්තාට චෝදනා එල්ල වී තිබෙනවා.