මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතිය හරහා ඇතුළු වී සයිබර් හැකර්කරුවන් විසින් සිදුකළ සොරකමක් සම්බන්ධයෙන් නීතිය බලාත්මක කරන ආයතන සහ අදාළ අනෙකුත් ආයතන වෙත දැනටමත් පැමිණිලි කර ඇති බව මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශය පවසනවා.

ඒ අනුව 2026 ජනවාරි මාසය තුළදී, විදේශ මුදල් ප්‍රමාණයක් ගෙවීම පිළිබඳ හඳුනාගත් තොරතුරු අනුව, ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයට හා ශ්‍රී ලංකා පොලීසියේ පරිගණක අපරාධ විමර්ශන අංශය වෙත දැනුවත් කර ඇති බවයි මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ.

ඒ ඔස්සේ කරන ලද පරීක්ෂණවලට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි කර තිබෙනවා.

එමෙන්ම මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය වෙත ද මේ පිළිබඳව පැමිණිලි කර ඇති බවයි එම අමාත්‍යාංශය සදහන් කළේ.

මේ සම්බන්ධයෙන් අභ්‍යන්තර මූලික පරීක්ෂණයක් ද සිදුකර, අවශ්‍ය ක්‍රියා මාර්ග ගෙන ඇති අතර නිලධාරීන් කිහිපදෙනෙකු සම්බන්ධයෙන් ද විනය ක්‍රියාමාර්ග ගෙන ඇති බව මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ සදහන්.

එමෙන්ම අදාළ නීතිය ක්‍රියාත්මක කරන ආයතන හරහා සිදු කරන විමර්ශන සඳහා අවශ්‍ය සහය දැක්වීම සහ අවශ්‍ය තොරතුරු ලබා දීම සිදු කර ඇති බව මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශය පවසනවා.
ශ්‍රී ලංකාව සහ විදේශීය රාජ්‍යයන් අතර පවතින ගිවිසුම් වලට අනුගතව, අදාළ සම්බන්ධීකරණයන් සහ එකඟතාවයන් සහිතව, මේ සම්බන්ධයෙන් අවශ්‍ය ඉදිරි කටයුතු සිදු කෙරෙනු ඇති බවයි එම අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.
අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක ණය මුදලක් ගෙවීමට තිබූ රටකට, ණය පියවීමක් ලෙස මහා භාණ්ඩාගාරය විසින් ගෙවූ අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් කිසියම් පරිගණක හැකර්වරයෙකුට ගොස් ඇති බවට විපක්‍ෂය ඇතුළු පාර්ශව කිහිපයක් ඊයේ රට හමුවේ ප්‍රකාශ කළා.

පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පෙන්වා දුන්නේ මෙවැනි සිද්ධියක් සිදුව ඇත්නම් එය රටේ කීර්ති නාමයට පවා ගැටළුවක් ඇති වන බවයි.