වසර 18ක් පුරා ශ්‍රී ලංකා සුපිරි පිතිකරු සනත් ජයසූරිය සතුව තිබූ වාර්තාවක් සම කිරීමට මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමේ තිලක් වර්මා ඊයේ සමත් වුණා.

ඒ, ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සමඟ පැවැති තරගයේදී පන්දු 45කින් වේගවත් ශතකයක් වාර්තා කරමින්.

මුම්බායි ඉනිමේ මුල් භාගයේදී පන්දු 22කදී ලකුණු 19ක් ලබා ගනිමින් මන්දගාමීව ක්‍රීඩා කළ වර්මා, ප්‍රේක්ෂකයින්ගේ පවා අප්‍රසාදයට ලක්ව සිටියා.

කෙසේ වෙතත්, උපායමාර්ගික විවේකයේදී නායක හර්දික් පාණ්ඩ්‍යා ලබා දුන් උපදෙස්වලින් පසුව තිලක් වර්මා පිටිය සිසාරා ප්‍රහාරාත්මක පිතිහරඹයක නිරත වුණා.

ඔහු තම ඉනිමේ අවසන් ලකුණු 81 රැස් කළේ පන්දු 23ක් පමණක් වැය කරමින්.

ඒ අනුව තිලක් වර්මා රැස්කළ මුළු ලකුණු සංඛ්‍යාව 101.

නොදැවී ක්‍රීඩා කළ ඔහුගේ ඉනිමට හතරේ පහර 8ක් සහ හයේ පහර 7ක් ඇතුළත් වුණා.

IPL තරඟයකදී මුම්බායි ඉන්ඩියන්ස් ක්‍රීඩකයෙකු රැස් කළ වේගවත්ම ශතකයට හිමි වාර්තාව මෙතෙක් ලියැවී තිබුණේ සනත් ජයසූරියගේ නමටයි.

2008 වසරේදී චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට එරෙහිව සනත් ජයසූරිය පන්දු 45කදී ශතකයක් රැස්කළා.

තිලක් වර්මා ඊයේ සම කළේ එම වාර්තාවයි.

තිලක් වර්මාගේ මෙම විශිෂ්ට ඉනිම හේතුවෙන් පන්දුවාර 20 අවසානයේ ලකුණු 199ක් රැස් කිරීමට මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම සමත් වුණා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට ලබාගත හැකි වූයේ ලකුණු 100ක් පමණයි.

ඒ අනුව පිටපිටම ලැබූ පරාජයන් හතරකට පසුව ඊයේ පැවති තරඟය ලකුණු 99කින් ජය ගැනීමට මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම සමත් වුණා.