ඉරානයට අයත් දකුණු පාර්ස් ස්වභාවික වායු නිධියට එල්ල වූ ප්‍රහාරයට ප්‍රතිප්‍රහාර ලෙස ඉරාන ආරක්ෂක අංශ විසින් මැදපෙරදිග කලාපයේ බලශක්ති මධ්‍යස්ථාන වෙත ප්‍රහාර මාලාවක් දියත් කර තිබෙනවා.
ඊශ්‍රායලය විසින් ඉරානයේ පිහිටි ලොව විශාලතම ස්වභාවික ගෑස් නිධිය වන දකුණු පාර්ස් ප්‍රදේශයට පළමුව ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
එම ගුවන් ප්‍රහාරයත් සමඟ ගෑස් නිධිය ආසන්න ප්‍රදේශයේ විශාල ගින්නක් හටගෙන තිබෙනවා.
සිය රටට එල්ල වූ එම ප්‍රහාර මාලාවෙන් පසු ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් ප්‍රකාශ කළේ, අදාළ ප්‍රහාරය සම්බන්ධයෙන් අමෙරිකාව ප්රමුඛ මැදපෙරදිග රටවලට ප්‍රතිවිපාක විඳීමට සිදුවනු ඇති බවයි.
ඒ අනුව ඉරානය විසින් කටාර් රාජ්‍යයේ පිහිටි රාස් ලෆාන් කාර්මික නගරයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.
එම ප්‍රහාරයෙන් එරට ස්වභාවික ගෑස් නිෂ්පාදන ස්ථානයකට හානි සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
කෙසේවෙතත් තම ස්වෛරීභාවය ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය සියලුම පියවර ගන්නා බව කටාර් රාජ්‍යය ප්‍රකාශ කර ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළා.
ඒ අනුව කටාර්හි සිටින ඉරාන හමුදා, ආරක්ෂක අංශ සහ ඔවුන්ගේ කාර්ය මණ්ඩලයට වහාම රටින් පිටවන ලෙස එරට විදේශ අමාත්‍යාංශය දැනුම් දී ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබෙන්නේ.




