මේ දිනවල දැඩි ආන්දෝලනයකට ලක්ව සිටින, ජනාධිපති සමාව අනීතික ලෙස භාවිත කරමින් නිදහස් කළ බව කියන ඩබ්.එම්. අතුල තිලකරත්න නැමති විත්තිකරු අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිට තිබෙනවා.

ඒ, ඔහුට එරෙහිව පවතින වෙනත් නඩුවක් සඳහායි.

ඊයේ දිනයේ ඔහු මෙලෙස පෙනී සිට ඇත්තේ ඔහුගේ නීිතිඥවරයා මගින්.

වෙසක් පොහොය දා ජනපති පොදු සමාව ලැබී ඇති බව පවසමින් අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයා නිකුත් කළ බව කියන ලේඛනයට අනුව අනුරාධපුර මහාධිකණයේ පැවති නඩුවකින් නිදහස්ව ගොස් ඇති බව කියන චෝදනාවකට අදාළව මෙම පුද්ගලයා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටින බවටයි වාර්තා පළ වුණේ.

අතුල තිලකරත්න නැමති විත්තිකරු මෙලෙස පැමිණ සිටියේ අපරාධ පරික්ෂණ දෙපර්තමේන්තුවේ නිලධාරීන්ද සිටි විවෘත අධිකරණයටයි.

කෙසේවෙතත් ඔහුට එරෙහිව අනුරාධුපර මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති එම නඩුව අවසන් වීමෙන් පසුව ද මෙම විත්තිකරු අධිකරණයේම රැඳී සිට තිබෙනවා.

ඒ, ජනපති පොදු සමාව යටතේ බව කියමින් තමා නිදහස් වී යාමට අදාළ ලිපිය නිකුත් කිරීමේ සිද්ධියකට අදාළව අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයාට එරෙහිව පවතින නඩුව දැකබලා ගැනීම සඳහා වීම විශේෂත්වයක්.

අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයාට එරෙහිව පැවති නඩුව කැඳවූ අවස්ථාවේ ඔහු වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ අරවින්ද හබක්කල මහතා පැවසුවේ විත්තිකාර ඩබ්.එම්. අතුල තිලකරත්න යන අය නිදහස් කිරීමට පියවර ගෙන ඇත්තේ නිත්‍යානූකූලව බවයි.

එය වඩාත් තහවුරු වන්නේ ප්‍රශ්න ගත විත්තිකාර අතුල තිලකරත්න යන අය මේ අවස්ථාවේ මෙම අධිකරණයේද පෙනී සිටින නිසා බව නීතීඥවරයා පවසා තිබෙනවා.

නීතිඥවරයා එලෙස පවසද්දි විත්තිකාර අතුල තිලකරත්න, අපරාධ පරික්ෂණ දෙපර්තමේන්තුවේ නිලධාරීන්ද සිටි විවෘත අධිකරණ ශාලාවේ සිටිමින් අතක් ඔසවමින් තමා අධිකරණයේ සිටින බව මහේස්ත්‍රාත්වරයාට දන්වා සිටීම ද විශේෂත්වයක්.

තම සේවාදායකයා මෙලෙස ප්‍රසිද්ධියේ විවෘත අධිකරණයේ පෙනී සිටින්නේ ඔහුට එරෙහිව අනුරාධපුර මහාධිකරණයේ පැවති නඩුවෙන් නිත්‍යානුකූලව නිදහස්ව සිටින නිසා බවයි එහිදී ඔහුගේ නීතීඥවරයා පවසා ඇත්තේ.

අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයාගේ නඩුව අවසන් වීමෙන් අනතුරුව විත්තිකාර ඩබ් එම් අතුල තිලකරත්න, තම මිතුරන් සමඟ අධිකරණ භූමියේ කතා බස් කරමින් සිට පසුව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරින් අසලින්ම අධිකරණ භූමියෙන් පිටව ගොස් තිබෙනවා.