ඇමෙරිකා එක්සත් ජනපදයේ ඇලබාමා ප්‍රාන්තයේ කොංග්‍රස් මණ්ඩල ආසනයක් නැවතත් ජයග්‍රහණය කිරීමට ඩිමොක්‍රටික් පක්ෂයේ ෂොමාරි ෆිගර්ස් සමත්ව තිබෙනවා.

ඔහු මෙම ජයග්‍රහණය ලබාගෙන ඇත්තේ රිපබ්ලිකන් පක්ෂයේ ප්‍රාන්ත නීති සම්පාදකයින් විසින් ඔහු පරාජය කිරීමේ අරමුණින්ම අදාළ ඡන්ද දිස්ත්‍රික්කයේ මායිම් ද සංශෝධනය කර තිබීයදී බවයි ජාත්‍යන්තර දේශපාලන විචාරකයන් පවසන්නේ.

මෙවර මැතිවරණයේදී දේශපාලන වාසි ලබාගැනීම සඳහා ඡන්ද සිතියම් නැවත ඇඳීමේ ක්‍රියාවලිය පක්ෂ දෙකම භාවිත කළ ද, ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ උපදෙස් මත රිපබ්ලිකන් පක්ෂය එහි ඉදිරියෙන්ම සිටි බවද ජාත්‍යන්තර දේශපාලන විචාරකයන් කියා සිටියා.

ඩිමොක්‍රටික් අපේක්ෂක ෂොමාරි ෆිගර්ස් විසින් ජයගන්නා ලද ආසනය 2024 ජනාධිපතිවරණයේදී ඩොනල්ඩ් ට්‍රම්ප් වැඩි ඡන්ද විශාල සංඛ්‍යාවකින් ජයගත් එකක්.

එහෙත් එය අභියෝගයක් කර නොගත් ෂොමාරි ෆිගර්ස්, තමන් කිසිවිටෙකත් මෙම තරගයේදී පසුපසින් සිටින බවක් නොසිතූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

මේ අතර රිපබ්ලිකන් පක්ෂයට වාසි වන පරිදි කොංග්‍රස් ආසන 5ක මායිම් සංශෝධනය කළ ටෙක්සාස් ප්‍රාන්තයේ ආසන 4ක්ම ඩිමොක්‍රටික් පක්ෂය හමුවේ අහිමි වී ඇති අතර, ෆ්ලෝරිඩා ප්‍රාන්තයේ සංශෝධනය කළ ආසන 4ම අහිමි වීමේ අවදානමකට රිපබ්ලිකන් පක්ෂය මුහුණ දී සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මේ අතර ඇමෙරිකා එක්සත් ජනපදයේ පැවති මධ්‍යවාර මැතිවරණයේ සෙනෙට් සභාවේ ජයග්‍රහණය තහවුරු කර ගැනීමට ඩිමොක්‍රටික් පක්ෂය සමත්ව තිබෙනවා.

සෙනෙට් සභාවේ බහුතර බලය සඳහා අවශ්‍ය ආසන 50 සීමාව ඉක්මවා යමින් ඩිමොක්‍රටික් පක්ෂය ආසන 54ක් ජයග්‍රහණය කර ඇති අතර, එය පෙර පැවැති තත්ත්වයට වඩා ආසන 7ක වර්ධනයක්.

රිපබ්ලිකන් පක්ෂයට හිමිව ඇත්තේ ආසන 44ක් පමණක් වන අතර ඔවුන්ට ආසන 7ක් අහිමි වී තිබෙනවා.

මේ අතර, ඇමෙරිකානු නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ බලයද අත්පත් කර ගෙන සිටින්නේ ඩිමොක්‍රටික් පක්ෂයයි.

මන්ත්‍රී මණ්ඩලයේ බහුතර බලය තහවුරු කරගැනීමට අවශ්‍ය ආසන 218 සීමාව අභිබවා යමින් ඩිමොක්‍රටික් පක්ෂය ආසන 240ක් ලබා ගැනීමට සමත්ව සිටිනවා.

මෙතෙක් නිකුත් වූ ප්‍රතිඵලවලට අනුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ රිපබ්ලිකන් පක්ෂයට හිමිව ඇත්තේ ආසන 147ක් පමණයි.

මේ අතර ඇමෙරිකානු මධ්‍යවාර මැතිවරණයෙන් රිපබ්ලිකන් පක්ෂය ලැබූ පරාජයට හේතුව ඉරාන යුද්ධය බව පවසමින් උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් සිදුකළ ප්‍රකාශයක් හේතුවෙන් වොෂින්ටන් දේශපාලන කරළිය උණුසුම් වී තිබෙනවා.

2028 වසරේ පැවැත්වීමට නියමිත ඇමෙරිකානු ජනාධිපතිවරණ සටන ඉලක්ක කරගනිමින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පාලනයෙන් සහ ඔහුගේ යම් යම් තීරණවලින් වෙන්වීමට උප ජනාධිපතිවරයා දරන උත්සාහයක් ලෙසයි මෙය විචාරකයින් හඳුන්වන්නේ.

පසුගිය අඟහරුවාදා සහ බදාදා දිනවලදී සම්මුඛ සාකච්ඡා කිහිපයකට එක්වෙමින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන යුද්ධය සම්බන්ධ තීරණය සාධාරණීකරණය කළ ද, නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සහ සෙනෙට් සභාවේ බලය ඩිමොක්‍රටික් පක්ෂයට හිමිවීමට එම යුද්ධය යම් බලපෑමක් කළ බව පිළිගෙන තිබුණා.

ඉරාන යුද්ධය සම්බන්ධයෙන් උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් දැරූ ප්‍රතිපත්තිය මීට පෙර රහසක්ව පැවැති අතර, ඇමෙරිකාව සහ ඉශ්‍රායලය එක්ව තෙහෙරානයට ප්‍රහාර එල්ල කළ දා සිට ඔහු ප්‍රසිද්ධියේ ඊට සහය පළ කළ ද, සංවෘත සාකච්ඡාවලදී ඔහු ඊට සිය විරෝධය පළකර තිබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

කෙසේවෙතත්, එම අභ්‍යන්තර මතභේද මේ වන විට ප්‍රසිද්ධියට පත්ව තිබීම විශේෂත්වයක්.